රුසියානු තෙල් ප්‍රමාද වන්නේ කොමිස් හුටපට නිසාද ?

ශ්‍රී ලංකාවේ තෙල් ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සහයෝගය දක්වන්නැයි හිටපු ජනාධිපති සිරිසේන මහතා රුසියානු ජනාධිපති පුතින් වෙතින් ඉල්ලීමක් කල අතර ඒ සම්බන්ධයෙන් ඉතා ඉක්මන් ප්‍රතිචාරයක් ලැබින.

දැන් දිවයින වාර්තා කර ආකාරයට රුසියාවෙන් අලුත් උත්තරයක් ලබාදී ඇත. ඒඅනුව මෙම උත්තරය ලංකාවේ ඉන්ධන ප්‍රශ්නයට ඛනිජ තෙල් ඇමැතිවරයා දුන් උත්තරවලට වඩා හාත්පසින්ම වෙනස් එකකි. එය මාසිකව ඩොලර් මිලියන 300 ක් වටිනා ඛනිජ තෙල් වසර දෙකක ණය පදනමක් යටතේ ලබා දීමටයි. මේ සම්බන්ධව රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ලෝක වෙළෙඳපොළේ පවතින මිලට වඩා සියයට පහළොවත් තිහත් අතර මිලකට අඩුවෙන් ඉන්ධන ලබාදීමට එම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර ඇති බවයි. මේ වන විට රටේ තෙල් පෝලිම්වල සිදු වූ මරණ විස්සකට අධිකය. තත්වය එසේ තිබියදී රුසියානු යෝජනාව යටපත්වී ඇත .

අපේ රටට බොහෝ අවස්ථාවල ඉන්ධන ලබා ගත්තේ යම් සැපයුම්කරුවකු හරහාය. ඕමාන් රාජ්‍යයෙන් තෙල් මිලදී ගන්නේ කටාර් රාජ්‍යයේ තෙල් සැපයුම්කරුවකුගෙනි. එම සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ අපේ රටේ දේශපාලනඥයකු බවට තොරතුරු ලැබී ඇත. ඔහු ගැන හිටපු ඇමැතිවරයකු වරින්වර ප්‍රකාශ ද නිකුත් කළේය. ඉන්ධන සැපයුම්කරු සමාගම් හරහා ඉන්ධන ආනයන කිරීමේදී සාමාන්‍ය මිලට වඩා මිල ඉහළ යෑමක් සිදුවන්නේ කොමිස් මුදල් ගෙවීමට සිදු වීමෙනි. මේ ගෙවීම් සියල්ල සිදු කරන්නේ ඩොලර්වලනි.

රුසියාවෙන් තෙල් මිලදී ගැනීමේදී රූබල් භාවිතවීම කොමිස් ලබාගැනීම දුෂ්කර කරන හෙයින් මේ යෝජනා ක්‍රියාත්මක වීම ප්‍රමාදයට බලපා ඇති බවයි දිවයින පවසන්නේ.

රුසියාව තෙල් බැරලයක් අලෙවි කරන්නේ ඩොලර්වලින් ගණනය කළහොත් ඩොලර් 69 ත් 80 ත් අතර මිලකටය. ඉන්දියාව පසුගිය කාලය තුළ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අපට ඉන්ධන ලබාදුන්නේ ඩොලර් 150 ක් වැනි මුදලකටය. එසේ ලබාදුන්නේ ඔවුන් ඩොලර් 67 කට ලබාගත් ඉන්ධන බව දැනගන්ට තිබේ.

පහසු මිලට රුසියාවෙන් තෙල් ලබාගත හැකිව තිබියදී එසේ නොකරන්නේ මන්ද යන්න පිළිබඳව වහාම කරුණු පැහැදිලි කිරීම ආණ්ඩුවේ වගකීමකි.

Related Articles