නිල ඇඳුම අත්හළ සෙබළ අසංක තීරණාත්මක මොහොත ගැන කියයි …

0
87

ජූලි නවවැනිදා නිල ඇඳුම ගලවා අරගල කරුවන් අතරට එක්වූ අසේල සංජීව බාලසූරිය තම අත්දැකීම මාධ්‍යයට එක් කොට ඇත.

තම නිල ඇඳුම විශේෂ කාර්ය බළකා කර්යාලයට භාරදී කුරුණෑගල, කුඹුක්ගැටේ ගමට ගොස් සිටින විසිහතර හැවිරිදි අසේල සංජීව බාලසූරිය පවසන්නේ මරදාන යුද හමුදා මූලස්ථානය සිට අරගල භුමිය වෙතට ජූලි නවවැනිදා ගමන්කරන විට තම සිත තුල බොහෝ දේ නලියන්නට වූ බවයි.

“නමවෙනිදා රටේ ගොඩක් මිනිස්සු විරෝධතා දක්වන්න කොළඹට එනවා කියලා කතාබහක් ගියානේ. ඉතින් රටේ ආරක්ෂාවට අපිව අටවෙනිදා ඉඳලාම ලංකා බැංකු පාරේ සේවයට අනුයුක්ත කළා. කොහොමහරි නමවෙනිදා උදේ ඉඳලම එතැන සෙනඟ පිරුණා. වයසක අම්මලා, තාත්තලා, අපි වගේම තරුණ අය එයාලගේ දුක හමුදාවේ අපිට කිය කියා අඬන්න පටන්ගත්තා. ඉතින් ඒ වෙලාවේ එයාලගෙ පැත්තෙ හිටගන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසයි මම හමුදා නිල ඇඳුම ගැලෙව්වෙ එතැන හිටපු සෙනඟ ගොඩක් වෙලා යනකල් මාව වටකරගෙන හිටියා. ඔලුව අතගෑවා, සමහරු මාව බදාගෙන ඇඬුවා.

අසේල සංජීව බාලසූරිය පවසන්නේ තමන්ගේ හදවතේ ගැඹුරුම තැනකින් නැගුනු හැගීම් හේතුවෙන් තමන් නිල ඇඳුම අත් හළ බවයි.

” මම ඒ වෙලේ කළේ අවංකවම මගේ හදවතට දැනුණු දේ. ඒක කාගෙවත් කීමකටවත් උසිගැන්වීමකටවත් කරපු දෙයක් නෙමෙයි. අපි ජීවත් වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින්. මම හමුදාවට බැඳුනේ රට රකින්න. අපේ රටට, මිනිස්සුන්ට වෙන අසාධාරණකම් දැක දැක ඇස් වහන් ඉන්න අමාරුයි. අනික අපිත් මේ රටේ සාමාන්‍ය මිනිස්සු. ඒකයි මම එයාලාගේ පැත්තේ හිටගත්තේ. සෑහෙන දෙනෙක් මගේ නම්බර් එක හොයාගෙන මට කතා කළා. ඇත්තටම එදා මට කතා කරගන්න බැරිතරමට කෝල් ආවා. ඕනම දේකට මූණදෙන්න බලාගෙන තමයි ඒ වෙලාවේ මම නිල ඇඳුම ගැලෙව්වේ.

සාමාන්‍යයෙන් නිල ඇඳුම අත්හරින සෙබළුන් හමුදා ප්‍රධානීන්ට ද්‍රෝහින්ය . එහෙත් අසංකට ප්‍රධානින් වෙතින් දෝෂාරෝපණ එල්ල නොවීම විශේෂයකි. “ගොඩක් අය කතා කරලා විස්තර ඇහුවා මිසක කවුරුත් මට දොස් කිව්වේ නම් නැහැ.”

මේ වනවිට ඔහුව සේවයෙන් පහ කොට ඇත.

‘ඔය සිදුවීමෙන් පස්සේ දවසේ මම මගේ නිල ඇඳුම් හමුදා මූලස්ථානයට බාරදීලා ගෙදර ගියා. සිද්ධියෙන් පස්සේ දවසෙම මාව සේවයෙන් ඉවත් කළා කියලා ලියුමක් ගෙදරට ආවා. මගේ පඩි එහෙමත් නතර කරලා. අසේල සංජීව බාලසූරියට පසුතැවිල්ලක් නැත ඇත්තේ බලාපොරොත්තුව පමණි.

“අම්මයි, තාත්තයි, අක්කයි තමයි ගෙදර ඉන්නේ, මම කළ දේගැන ගෙදර අයට ආඩම්බරයි. හැබැයි රැකියාව නැතිවුණු එක ගැන එයාලට පොඩි දුකක් තියෙනවා. තාත්තත් රැකියාවක් කරනවා, එහෙමයි කියලා අපිට මහලොකුවට සල්ලි නැහැ. ඉතිරි කරගත්තු සල්ලි එහෙමත් නැහැ. හැබැයි මේ ජොබ් එක නැති වුණාට ගෙදර ආර්ථිකේට ප්‍රශ්නයක් වෙයි කියල හිතන් නැහැ. මොකද මට වෙන රස්සාවක් කරන්න බැරිකමක් නෑනේ. ගොඩක් අය රැකියාවලට කතා කළා. තව දවසක් දෙකක් ගෙදර ඉඳලා රැකියාවකට යනවා.

ජුලි නම වෙනිදා ඔහුගේ උපන් දිනයටත් වඩා සුවිශේෂ දිනයක් වනු ඇත .

” යුද හමුදා විශේෂ කාර්ය බළකාය බොහොම විශේෂයි. ඒ පුහුණුව වෙනුවෙන් මම මාස ගාණක් දුක් වින්දා. ඉතින් දුක් විඳලා ආසවෙන් ඇඳපු ඇඳුම ආයේ අඳින්න නැතිවෙන එක ගැන නම් පොඩි දුකක් තියෙනවා. ඒත් මම ඒ දේ කළේ අපේ මිනිස්සු වෙනුවෙන් නිසානේ කියලා හිතෙනකොට ඒ දුකත් තුනීවෙනවා. කවදකහරි යුද්ධයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම මම ආයේ රට වෙනුවෙන් යුද්ධයට යනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here