පරාක්‍රම බාහු සමයේ හිස් භාණ්ඩාගාරය මතක්වී…

0
47

පරාක්‍රමබාහු රජතුමන් කුමාර සමයේදී හිස්භා ණ්ඩාගාරයක් දැකීමෙන් හටගත් කම්පනය නුතනයට ගලපමින් කරුණු දක්වන්නේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිවි. ඒ. විජේවර්ධනය.

දොළොස් වැනි සියවසේ මැද භාගයේ දී පසුකාලීනව පළමු පරාක්‍රමබාහු රජ බවට පත් පරාක්‍රමබාහු කුමරා දක්ෂිණ දේශයේ රජකමට පත්වූ විට සිත්තැවුලට හේතුවන අත්දැකීමකට මුහුණ පෑවේය. දළ වශයෙන් දක්ෂිණ දේශය යයි හැඳින්වූයේ මෙකල බටහිර සහ වයඹ පළාත්ය. චූලවංශයේ දක්වා ඇති පරිදි කුමරා ඔහුගේ භාණ්ඩාගාරිකගෙන් (මේ වන විට භාණ්ඩාගාර ලේකම් හා සමාන) විමසා සිටියේ ප්‍රමාණවත් සම්පත් භාණ්ඩාගාරයේ තිබේද යන්නයි. මුළු රටේම රජවීම උදෙසා අනෙකුත් පාලකයන් හා සටන් වැදීමට ඔහුට එය දැනගත යුතු විය. භාණ්ඩාගාරික තැන කෙළින් කතා කරන නිලධාරියෙක් වූයේය. ඔහු භාණ්ඩාගාරයේ දොර විවර කොට එය හිස් බව කුමරාට පෙන්වූයේය.

මෙකී වදකාර පුවතින් අධෛර්යවත් නොවුණු පරාක්‍රමබාහු අන්තරාංග ධුර නම් නව ආර්ථික කලාපයක් ඇරඹූ බව වාර්තා වේ. එය කළුතර වරායෙන් මෑතට විහිදුණු ප්‍රදේශයක් විය. ඔහු සිය නිලධාරීන් ලවා මෙම විශේෂ ආර්ථික කලාපයෙන් දැව, අලි ඇතුන්, ඇත්දළ, මැණික්, මුතු හා කුළුබඩු ආදී අපනයන නිෂ්පාදන ඒකරාශී කොට අසල්වැසි රටවලට කළුතර වරායෙන් අපනයනය කළේය. මෙයින් පෙනී යන්නේ කුමරා කෞටිල්‍යන්ගේ අර්ථ ශාස්ත්‍රය උගෙන ඇති බවයි. චූලවංශයට අනුව ඉන් පසු ගෙවුම් ශේෂ අතිරික්තයක් උත්පාදනය වී තිබේ. එම අතිරික්තය භාවිතා කොට ආයුධ සහ අනෙක් යුදමය අවශ්‍යතා සපුරාගෙන හෙතෙම ලංකාව එක්සේසත් කළේය.

හොඳ සැපයුමක් ඇති භාණ්ඩාගාරය සැමදේටම කේන්ද්‍රගත වූවකි. මෙය අති විශේෂ තත්ත්වයක් වන්නේ කෞටිල්‍යට අනුව හිස් භාණ්ඩාගාරයක් ඇති රජු වඩාත් දුර්වල රජකු වන බැවිනි. කෞටිල්‍ය මෙසේ කියයි. ක්ෂයවූ භාණ්ඩාගාරයක් හිමි රජකු රටවැසියාගේ සහ රටේ අත්‍යවශ්‍ය දෑ සපුරාදිය නොහැකිව අසීරුවට පත්වේ. සියලු රාජ්‍ය කටයුතු පළමුව භාණ්ඩාගාරය මත තීරණය වේ. එම නිසා රජකු පූර්ණ අවධානයෙන් යුතුව ඒ උදෙසා කැපවිය යුතුය.

මෙය දැන සිටි පරාක්‍රමබාහු කුමරා ඉහළම ප්‍රමුඛතාව දී තම භාණ්ඩාගාරය නගා සිටුවන්නට කටයුතු කළේය. දැන් ගැටළුව වන්නේ එවැනි දැක්මක් ඇත්තේ කාටද යන්නයි ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here