අත  සහ පොහොට්ටුවට පෙර ගමන්කරු  ඩලස් – දයාන්ගේ විවරණය…

අත සහ පොහොට්ටුවට පෙර ගමන්කරු ඩලස් – දයාන්ගේ විවරණය…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් පවුලක බුදලයක් ව පවතින මේ මොහොතේ එයින් ගැලවීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව පණක් ලබා ගැනීම සඳහාත් ඩලස් අලහප්පෙරුම දෙසට හැරී බැලීම වැදගත් බව දේශපාලන විචාරක දයාන් ජයතිලක පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද දායකයින්ගේ අදහස් සහ පරමාදර්ශ සහ එහි නායකයින්ගේ සැඟවුණු න්‍යාය පත්‍රය අතර අතරමංව සිටින බවයි කලක් රාජපක්ෂවරුන්ට උපදෙස් දෙමින් ජිනීවා සහ පැරිස් හි ශ්‍රීලංකා තානාපති ලෙස සේවය කළ දයාන් ජයතිලක කියා සිටින්නේ.

ජයතිලකට අනුව එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක විසින් ශ්‍රීලනිපය පිහිටුවා ගත්තේ එජාපය නියෝජනය නොකළ යම් යම් අදහස්, සාරධර්ම සහ සමාජ බලවේග නියෝජනය කිරීමටය. එය රටේ දේශපාලනයේ වාම කේන්ද්‍රයක් පිහිටුවීම සඳහා පිහිටුවන ලදී.

බණ්ඩාරනායක පවුලේ අධිපත්‍යට හසු වූ මේ පක්ෂය පරිහානියට පත්ව මහින්ද රාජපක්ෂ මහතාට සහ අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට මාරු වූ අතර මේ පක්ෂය නව මාවතකට අවතීර්ණය වීම සඳහාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීම සඳහාත් ඩලස් අලහප්පෙරුම දායක කරගත හැකි බවයි දයාන් ජයතිලක ගේ තර්කය වන්නේ.

මෙය ඉතිහාසය විසින් පක්ෂ දෙකටම පිරිනමන අවසාන අවස්ථාව වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහට සහයෝගය දීම තුලින් ඡන්ද දායකයින් ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබෙන බව දයාන් ජයතිලක පවසයි.

ගෝඨාභය පාලනය ජනතාවට දුන් ආර්ථික දඬුවම 1970-1977 බණ්ඩාරනායක පාලනය යටතේ අත්විඳීමටත් වඩා දරුණු වූ බැවින්, යළිත් ඔවුන් හට බලයට පත්වීමට බොහෝ කාලයක් ගත විය හැකිය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඩලස් නායකත්වයට තෝරාගෙන ඒ හරහා රනිල් වික්‍රමසිංහ පරාජය කළහොත් එතරම් කාලයක් බලා සිටිය යුතු නැති බව දයාන් ජයතිලක තර්ක කරයි.

අරගලකරුවන් සමඟ ගනුදෙනු කල හැකිවීම, දක්ෂ දේශපාලන මාධ්‍ය වේදියෙකු වීම්, ජවිපෙ සහ පෙරටුගාමින් සමඟ සංවාදයක් ගොඩනගා ගත හැකි වාමාංශික පසුබිමක් තිබීම වැනි කරුණු හේතුවෙන් ඩලස්ට වර්තමානයට ගැලපෙන නායකත්ව ගුණාංග රැසක් ඇති බවයි දයාන් කියන්නේ.

දයාන් ගේ තර්කයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩලස් හා සමීප සබඳතාවයක් ගොඩනගා ගැනීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ඔහු ගෙන ඒම පක්ෂ දෙකටම වාසි ගෙන දෙන්නකි.

Related Articles