ආණ්ඩුවේ බස් එකෙන් අපායට

ආණ්ඩුවේ බස් එකෙන් අපායට

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් 2024 වසරේ පෙබරවාරි මාසයේදී කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව වත්මන් ආණ්ඩුවට හිමි වන ජනතා අනුමැතිය 7%ක් දක්වා පහළ ගොස් තිබේ.

 

එම අගය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී 9%ක් වූ අතර, මාස කිහිපයක් තුළ තවත් 2%ක පහළ යාමක් පෙන්නුම් කරයි.

මේ අතර, මේ වන විට පවත්වාගෙන යන ආර්ථික තත්ත්වය 90%ක ප්‍රතිශතයක් ප්‍රතික්ෂේප කර තිබීමෙන් ද පෙනී යන්නේ, ජනතාව තුළ පවතින විශ්වසය බිඳ වැටී ඇති ආකාරය යි.

හොඳින් ආර්ථිකය කළමනාකරණය

මේ සියල්ල සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව ආර්ථිකය ඉතා හොඳින් ආර්ථිකය කළමනාකරණය කෙරමින් පවතින බව වාර්තා වෙමින් තිබියදීය .

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ගනුදෙනුව මෙහෙහයවන ප්‍රධානි පීටර් බ්ර්වර් පවසන්නේ මීළඟ වාරිකය ලබාදීමේ හැකියාවක් ඇති බවයි .

ස්වයිරී බැඳුම්කර ගෙවීම පැහැර හැරීම පිළිබඳව ඇමරිකානු අධිකරණයේ පවර තිබු නඩුවකට මැදිහත් වූ එරට ආණ්ඩුව පැවසුවේ ශ්‍රී ලංකාව නය ආපසු ගෙවීම සඳහා සද්භාවයෙන් කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබෙන හෙයින් අමතර කාලයක් ලබාදීම කාලෝචිත බවයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙමින් පවතී .කොටස් වෙළඳපල ද වර්ධනය වෙමින් පවතී.

 

හොඳටම කරේ තමන්

ගෝඨාභය රාජපක්ෂ ගෙන් පසුව රට හොඳටම කරේ තමන් බව රනිල් වික්‍රමසිංහය පවසයි . සාක්ෂි නැතුවාම නොවේ .එහෙත් ජනතාවට ආණ්ඩුව අරහං බව සමීක්ෂණයේ ප්‍රතිපල වලින් මනාව සනාථ වේ.

සාර්ව මට්ටමේ ප්‍රතිපල

මීට ප්‍රධාන හේතු දෙකක් තිබිය හැකිය . පලමුවැන්න මේ සාර්ව මට්ටමේ ප්‍රතිපල ජනතාවට දැනෙන මට්ටමක නැතිවීමයි. ලෝක ආහාර සංවිධානයේ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ 78% පමණ බඩගින්නේය . එහෙව් රටක ආණ්ඩුව ජනප්‍රිය නොවීම පුදුමයක් නොවේ. එහෙත් ඊට යම් තරමක් හෝ පිළිතුරක් තිබිය හැකිය . හෙට එච්චර කළුවර නැහැ හෝ අදට වඩා එලිය හඳක් හෙට පායනවා  ලලයි ලිලයි ලා යැයි කිව හැකිය . ආර්ථික අසමානතාව බෙහෙවින්ම වැඩි සමාජයක් තුළ සිදුවන ආර්ථික වර්ධනය වැඩි දෙනාගේ යහපත සඳහා කාන්දු නොවෙන බව කිව හැකිය . ඒ කොටස ලලයි ලිලයි ලා වලින් ආවරණයවේ.

සමාජ සාධාරණය

දෙවැනි හේතුව වඩාත් බරපතලය . රනිල් වික්‍රමසිංහ ආර්ථික ගැටළුව සඳහා පිළියම් හොයන්නේ සමාජ සාධාරණය පිළිබඳව තැකීමකින් තොරවය . ඔහු රටේ ජනතාව ගැඹුරු හෙලක් හරහා වැටී තිබෙන වැල් පාලමක් හරහා එගොඩ කරන බව පැවසුවත් ඔහු ගේ බල ව්‍යාපෘතියේ වුවමනා වන වෙනුවෙන් එගොඩ කරන්නේ රාජපක්ෂ වරුන්ය. මහින්ද , බැසිල් සහ ගෝඨා ආර්ථිකය අව කළමනාකරණය කල බව අධිකරනයේදී තීන්දු වී ඇත . ආචාර ධාර්මික පදනමකින් තොරව බලය වෙනුවෙන්ම බලය ලබාගැනීමේ මැකියවෙලියානු දේශපාලනයේ සීමා පිළිබඳව සංවේදී වීමට තරම් වුවම නාවක් රනිල් වික්‍රමසිංහට නැතුවා විය හැකිය.ඈත ගම් දනව්වල දරුවන් බඩගින්නේ හඬන්නේ මහ හොරු නඩයක් රට මංකොල්ල කෑ නිසා බව රනිල් වික්‍රමසිංහ හොඳින් දැන සිටියත් බලය ලබාගත හැකි ආකාරයට බැසිල් රාජපක්ෂ සමඟ ඩීල් එකක් දා ගත හැකි වුවහොත් එය ඔහුට ප්‍රමානවත්ය .සෙස්ස පස්සටය .

මේ හේතු දෙක නිසා ආණ්ඩුවේ ජනතා අනුමැතිය පහල බැසීම මතුපිට ගැටළුවයි .

අපායට යන ගමන

යටින් ඇති ගැටළුව ඊටත් වඩා ගැඹුරුය .

රනිල් වික්‍රමසිංහ එලවන බස් එකේ ගමන් කිරීමට මගීන් අකමැතිය .

රාජපක්ෂලා ෆුට් බෝඩ් එකක එල්ලුනහොත් හැරෙන්නට බස් එක එළවීමට මේ අවස්ථාවේ ඉඩක් ලැබෙන්නේ නැතිය.
තවත් ඩ්‍රයිවර්ලා දෙදෙනෙක් රියැදුරු අසුනට පැන ගැනීමට සුදානමෙන් සිටිති.

 

ඒ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකය .

සාපේක්ෂ වශයෙන් මේ අයට බස් එක එළවීමට සුදුසුකම් ඇත .

මේ අය බස් එක කොහාට එලවනවාදැයි මගීහු නොදනිති . එහෙත් වේලාව පැමිණි විට එකිනෙකා තෙරපාගෙන බස් එකට නැගීමට සුදානමින් සිටිති . බස් එක අපායට ගියත් කම් නැත. ගෝඨා ගේ හැට නම ලක්ෂයේ බස් එකට නැගීම සහ මේ බස් එකට නැගීම අතර වැඩි වෙනසක් නැත.

ගැටලුව ඇත්තේ එතැනය.ආතක් පාතක් නැතුව එන ඕනෑම බසයට නගින අවිචාරවත් මගී සමුහයක් සිටින තාක් ගමනාන්තය අපාය වනු ඇත .

 

 

 

 

 

 

Related Articles