ඇමතිවරු දහ අටක් -ජී එල්  ඉවතට  සබ්රි  ඇතුලට….

ඇමතිවරු දහ අටක් -ජී එල් ඉවතට සබ්රි ඇතුලට….

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී ඇමතිවරු 18 දෙනෙක් දිව්රුම් දුන් අතර වැඩි දෙනාට පෙර තිබු ඇමතිකම් හිමිවූ නමුත් ජී එල් පීරිස් මහාචාර්යවරයාට විදේශ කටයුතු අමාත්‍යංශය අහිමි වී ඇති අතර එම තනතුර අලි සබ්රි මහතාට හිමිවී ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම පිළිබඳව කතා බහක් ඇතිවී තිබෙන අතර එසේ වුවහොත් ඇමතිවරුන් අලුතින් පත් කිරීමට ඉඩ ඇත. මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුව ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා යලිත් පත් කොට ඇත .

විරෝධය….

මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙනී සිටින්නන්ට විරෝධතා පිළිබඳව සොයා බැලීමට අයිතිය ඇති බවත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා එල්ල නොකළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

අද අලුයම ගාලුමුවදොර ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Hanaa Singer-Hamdy මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ.

සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය යටපත් කිරීමට උත්සාහ කිරීම තුළින් රට තුළ දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය තවදුරටත් අයහපත් අතට හැරිය හැකි බවද Hanaa Singer-Hamdy මහත්මිය එම පණිවුඩය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබුණාය.

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම නින්දිතයි කෘෘරයි. එය තරයේ හෙලා දකිනවා යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. මේ අයුරින් අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්ෂටත් හැකියාව තිබුණා නමුත් ඔහු එසේ කලේ නැහැ යැයි උන්වහන්සේ පැවසුහ.

අරගලකරුවන්ගේ පිහිටෙන් ජනපති වූ රනිල් වික්‍රමසිංහ මහතා එම අරගලකරුවන්ටම පහරදී තමන්ට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම එක් දිනකින්ම අහිමි කරගත් බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම රටේ අනාගතයට බලපානු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Related Articles