කන්දකාඩු යළි යළි උණුසුම් වන්නේ ඇයි ?

කන්දකාඩු යළි යළි උණුසුම් වන්නේ ඇයි ?

දහවල් ආහාර පෝලිමේ රැඳී සිටි වැලිකන්ද කන්දකාඩු කඳවුරේ රැඳවූවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටලුවක් දුරදිග යෑම නිසා අද(12) සවස 4.00ට පමණ හටගත් ගැටුමකින් 24 දෙනකු පමණ තුවාල ලබා වැලිකන්ද සහ පොලොන්නරු රොහල්වලට ඇතුළත් කර ඇති අතර රැඳවූවන් 90ක් පමණ කඳවුරෙන් පලාගොස් ඇති අතර 62 දෙනකු පමණ මේ වන විට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පලාගිය සෙසු රැඳවූවන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව හා පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බවත්, සෝමාවතිය ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වයන් එයට බාධාවක් වී ඇති බවත් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා කීය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් දෙපිරිස අතර ඇති වූ ගැටුම අද (12) සවස 6.00 වන විට සම්පූර්ණයෙන්ම සමථයකට පත් කිරීමට හැකි වූ අතර, එහි ඇති වූ ගැටුම්කාරි තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කර තිබිණි.

කන්දකාඩු කඳවුරේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විවිධ හිංසනයන්ට පීඩාවන්ට ලක්වන බවට කාලයක විවිධ පාර්ශ්ව චෝදනා කළ ද එහි සත්‍යතාවක් නොමැති බවයි කඳවුරේ පරිපාලනය පවසන්නේ.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් පන්සීයක් පමණ පුනරුත්ථාපනය වන අතර ඔවුන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව මීට පෙර ප්‍රකාශයට පත්ව ඇත. අනෙක් අතට විටින් විට මෙම කඳවුරේ ගැටුම් ඇතිවීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වෙමින් තිබේ.

Related Articles