කැනඩාවේදී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පවුල ගැන තවත් තොරතුරු හෙළිවෙයි

කැනඩාවේදී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පවුල ගැන තවත් තොරතුරු හෙළිවෙයි

බදාදා තම සේවය නිම කොට නිවසට පැමිණි තමන් දුටුවේ තම බිරිඳ සහ කුඩා දරුවන් හතර දෙනා මරා දමා ඇති බව යැයි කැනඩාවේදී සිය පවුල සමූහ වශයෙන් ඝාතනය කිරීමේ සිද්ධියෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වන එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ පවසා තිබේ.

34 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහ ද එහිදී ප්‍රහාරයට ලක් වූ නමුත් සැකකරුගෙන් බේරීමට සමත් විය. ඔහුගේ ඇසේ සහ එක් අතක කැපුම් තුවාලයක් ඇති අතර මේ වන විට රෝහල්ගතව සුවය ලබමින් සිටියි. මෙම මරණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එම පවුල සමඟ ම ජීවත් වූ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකුට ය.

වික්‍රමසිංහ පවුල ඝාතනය කළ රාත්‍රිය ගැන නවතම තොරතුරු රැසක් අනාවරණය වූයේ එම පවුලේ අය නිතර ආගිය ඔටාවාහි බෞද්ධ ආරාමයක වැඩ වෙසෙන පූජ්‍ය භන්තේ සුනීතහිමි සමඟ මාධ්‍ය විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡා මාලාවකින් ය.

බ්‍රහස්පතින්දා ධනුෂ්ක වික්‍රමසිංහ බැලීමට රෝහලට ගිය සුනීත හිමි පැවසුවේ සිදු වූ දෙය පිළිබඳව ඔහු “මහත් කම්පනයකින්” සිටින බව ය.

ඔටාවා පොලිසිය විසින් බදාදා එරට දේශීය වේලාවෙන් 22:52ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා උදෑසන 9.22 ට පමණ) ලැබුණු හදිසි ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් පසු බාර්හේවන් ප්‍රදේශයේ නිවසකින් ඝාතනයට ලක්වූ පවුලේ අයගේ සිරුරු සොයා ගන්නා ලදී.

ඔටාවා පොලිස් සේවයේ ප්‍රධානී එරික් ස්ටබ්ස් පැවසුවේ, පුද්ගලයෙකු විසින් අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලා කෑගැසීමෙන් පසුව එම ඇමතුම් ලැබී ඇති බවයි. එලෙස උදව් ඉල්ලා කෑගසා ඇත්තේ ධනුෂ්ක වික්‍රමසිංහ යැයි පසුව නිගමනය කර තිබේ.

හදිසි දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වූ පොලිස් නිලධාරීන් විසින් පසුව ධනුෂ්ක වික්‍රමසිංහගේ බිරිඳ වන 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඔවුන්ගේ කුඩා දරුවන් සිව්දෙනාගේ මළ සිරුරු සොයා ගන්නා ලදී. ඒ අතර හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, තුන් හැවිරිදි රනායා වික්‍රමසිංහ, සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ ද වූහ.

පවුලේ අය සමඟ ජීවත් වූ 40 හැවිරිදි අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණී අමරකෝන් නමැති අයගේ මළ සිරුරද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

ඔටාවා හි ශ්‍රී ලංකා කැනඩා සංගමයේ හිටපු සභාපති වන නාරද කොඩිතුවක්කු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඔවුන් පසුගිය වසරේ කැනඩාවට පැමිණ ඇති බව ය.

CBC සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, සුනීත හිමියන් විසින් එම පවුල ගැන විස්තර කළේ විහාරස්ථානයට බොහෝ විට උදව් කරන කාරුණික පුද්ගලයන් ලෙසය.

“ඔවුන් අහිංසකයි. ඒ වගේම ගොඩක් උදව් කරන මිනිස්සු. කවුරු උදව්ක් ඉල්ලුවත් එහෙමයි,” සුනීති හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා කිසිදු ප්‍රතිරෝධයකින් තොරව නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, “පිහියක් වැනි දෙයක්” භාවිතා කරමින් සිදු කර ඇති බවට පොලිසිය පවසන මෙම ඝාතන සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

ඔටාවාහි Algonquin විද්‍යාලය බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ෆෙබ්‍රියෝ ද සොයිසා තම විද්‍යාලයට ඇතුළත් අයෙකු බවත්, ඔහු විද්‍යාලයට පැමිණි අවසන් වාරය 2023 ශීත ඍතුව බවත් තහවුරු කළේය.

ෆේස්බුක් හි ප්‍රකාශයක් පළකරමින් ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විපතට පත් වූවන්ගේ පවුලේ අයට සහ මිතුරන්ට සිය ශෝකය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිට විදෙස් රටවලට ගොස් අධ්‍යාපනය ලබන අයගේ දෙමාපියන්ට ඔවුන් අනතුරු අඟවා සිටියේ “තම දරුවන් කැනඩාව වැනි විදෙස් රටකදී එම රටවලට අනුගත වන සංක්‍රාන්තික කාලසීමාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන” ලෙස ය.

පොලිසිය මෙම අපරාධය සඳහා හේතුව නිශ්චිතව සඳහන් කර නොමැති අතර, එම පවුල “අහිංසක වින්දිතයන්” බවත්, ඔවුන්ගේ විමර්ශන සිදුවෙමින් පවතින බවත් සඳහන් කළේය.

ෆෙබ්‍රියෝ ද සොයිසා ඉකුත් බ්‍රහස්පතින්දා ඔටාවා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහුට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නිල වශයෙන් චෝදනා ගොනු කෙරුණි.

ඉකුත් සෙනසුරාදා මෙම පවුල වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් පවත්වනු ලබන අතර, කැනඩාවේ බෞද්ධ සම්මේලනය විසින් ධනුෂ්ක වික්‍රමසිංහ වෙනුවෙන් දියත් කරන ලද GoFundMe ව්‍යාපාරය මගින් සිකුරාදා පස්වරුව වන විට කැනේඩියානු ඩොලර් C$53,000 ($39,300; £30,500) ට වැඩි මුදලක් රැස් කර ඇත.

මෙම සිදුවීම ඔටාවා හි මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම ඝාතන සිදුවීම බවත්, එය කැනඩාවේ අගනුවරට “සැළකිය යුතු” බලපෑමක් ඇති කරන “සැබෑ ඛේදවාචකයක්” ලෙස හඳුන්වන බව පොලිස් ප්‍රධානි ස්ටබ්ස් පැවසීය.

“ප්‍රජාවට ඇති කරන බලපෑම විශාල බව තමන් විශ්වාස කරන බව ” පැවසූ ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ප්‍රදේශවාසීන් සහ ප්‍රජාවේ සාමාජිකයින් සිදුවීම වූ එම ප්‍රදේශයෙන් දිගටම ඉවත්ව සිටිම සුදුසු බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා CBC ප්‍රවෘත්ති සමඟ වෙනම සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු මෙම සිද්ධිය “සමූහ වෙඩි තැබීමක්” ලෙස කළ වැරදි ලෙස අර්ථකථනය කළ අතර පසුව එය නිවැරදි කරන ලදී.

එදිනම ටොරොන්ටෝහිදී, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එය “කම්පනය සහ භීතිය” ගෙන දුන් “බිහිසුණු ප්‍රචණ්ඩත්වයක්” සිදුවීමක් බවයි.

ඔටාවා නගරාධිපති මෙම සමුහ මනුෂ්‍ය ඝාතන සිදුවීම හැඳින්වූයේ තම නගර ඉතිහාසයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩ සිදුවීම ලෙසිනි.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් පැවසුවේ “ආරක්ෂිත ප්‍රජාවක් තුළ ජීවත් වීම ගැන අපි ආඩම්බර වෙනවා, නමුත් මෙම පුවත සියලුම ඔටාවා වැසියන්ට කම්පනයට පත් කොට තිබෙනවා ” යනුවෙනි.

“මෙම බිහිසුණු සිදුවීමෙන් පීඩාවට පත් වූවන් පිළිබඳව විමර්ශනය කරන සහ එයින් බලපෑමට ලක්වූවන්ට සහාය දක්වන අපගේ හදිසි ප්‍රතිචාරක සේවයන්ට ස්තූතියි,” ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණි.

BBC සිංහල

Related Articles