කුමාර්  ගුණරත්නම්  සාධකය….

කුමාර් ගුණරත්නම් සාධකය….

අරගලය මේ වන විට ලාංකීය දේශපාලන භුමිය තුල වැදගත් ස්ථානයක් ලකුණු කරගෙන ඇත. ඊට සමාන්තරව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඉස්මතු වී ඇත.

වික්ටර් අයිවන් පවසන ආකාරයට පෙරටුගාමීන් අරගලයේ අයිතිය තමන් සතු කර ගෙන ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වුනේ ජාතික ප්‍රශ්නය මුල්කර ගනිමිනි.

සාපේක්ෂව ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ශක්තිය වැඩි වුවත් අරගලය හරහා ජනතා විමුක්ති පෙරමුණ අභිබවා ගිය දේශපාලන ශක්තියක් සහ නායකත්වයක් ප්‍රදර්ශනය කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හැකි වී තිබේ.

මෙම නැගිටීම පිටුපසින් සිටින ප්‍රධාන චරිතයක් වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුනරත්නම්ය.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හරහා ක්‍රියාත්මක වෙමින් පවතින පෙරටුගාමී සමාජවාදී පක්ෂය වාර්ගික, කුල හා ආගම් පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් දක්වන අදහස් සාපේක්ෂව නවීන හා ප්‍රගතිශීලී බව විචාරකයින් දක්වති.

සටන්කාමී ශිෂ්‍ය කණ්ඩායම්…..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සටන්කාමී ශිෂ්‍ය කණ්ඩායම් බලමුලු ගැන්වීමේ පුරෝගාමී මෙහෙවර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශක්තිය ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව පෙනේ.

දැඩි මාක්ස්වාදී රාමුවෙන් බැහැරව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට යොමු වූ පක්‍ෂය ලෙස ජ.වි.පෙ. සැලකිය හැකි අතර ඊට පටහැනිව, දැඩි මාක්ස්වාදී රාමුවක් තුළ පෙරටුගමින් ක්‍රියා කරන බවකිව යුතුය.

පෙරටුගමින් සමඟ පෙරට…

ජනතා විමුක්ති පෙරමුණ විසින් මීට පෙර දියත් කළ කැරලි දෙකේ අරමුණ සන්නද්ධ අරගලයකින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමයි. එහෙත් ජූලි කැරැල්ලේ ප්‍රධාන අරමුණ වූයේ ජනාධිපති ගෝඨාභය බලයෙන් පහ කිරීමය. එබැවින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද එම න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කිරීමට පෙළඹී ඇති බව පෙනේ. ඒ නිසා ඔවුන්ට රාජ්‍ය බලය උදුරා ගන්නවාට වඩා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන දේශපාලන බලයට සම්බන්ධ සංකේතාත්මක වැදගත්කමක් ඇති ප්‍රධාන රාජ්‍ය ගොඩනැඟිලි තුනකට කඩා වැදී අල්ලා ගැනීමට ඉඩ සැලසෙන ප්‍රතිපත්තියක වැඩ කිරීමට සිදු විය. කෙසේ වෙතත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඉතා උස් හඬින් ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව විසින් සිදුකරන සෑම කටයුත්තකදීම පාර්ලිමේන්තුව ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන ඒ අනුව කටයුතු කළ යුතු බවයි.

පසුගිය 09 වැනිදා ඇති වූ කැරැල්ල පෙරටුගාමී පක්ෂයට අණ දුන් ජන බලයේ තරම පෙන්නුම් කරන සාධකයක් ලෙස සැලකිය නොහැකි වුවද, වත්මන් දේශපාලන ක්‍රීඩාව තුළ එය තවදුරටත් නොසලකා හැරිය නොහැකි සුවිශේෂී ක්‍රීඩකයෙකු බව එයින් ඔප්පු වී ඇත. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික මට්ටමේ දේශපාලන කණ්ඩායමක් පත් කිරීමේදී ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් විරෝධයක් එල්ල විය හැකි වුවද පෙරටුගාමී පක්ෂයට ඒ සඳහා සුදුසු නියෝජනයක් ලබාදීමට ව්‍යවස්ථාමය ක්‍රමවේදයක් සකස් කිරීම අවශ්‍ය වේ. ඊට අමතරව තරුණ නැගිටීමට සම්බන්ධ එහෙත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ නොවන අනෙකුත් කණ්ඩායම් සඳහාද සුදුසු නියෝජනයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.”

පින්නවල හරහා පේරාදෙණියට….

ප්‍රේමකුමාර් කෑගල්ල ශාන්ත මරියා විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුල් වී පසුව පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් පේරාදෙණිය සරසවි ඉංජිනේරු පීඨයට 1985 දී ඊ/85/58 යටතේ ඇතුළත් විය.

ප්‍රේමකුමාර් ගේ වැඩිමහල් සොහොයුරා වූ රංජිදන් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සිසුවකුව සිටිය දී ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට එක්විය. ඔහු කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන වැහැර කඳවුරට ද පසුව කොළඹ අපරාධ විමර්ශන අංශයටද ගෙන යෑමෙන් පසු 1990 ජනවාරි මස දී ඝාතනයට පත්විය.

ත්‍රිකුණාමලයේ දී ජවිපෙ කටයුතු භාරව සිටිය දී ඉන්දීය හමුදාව සහ ඔවුන්ගේ වාහන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ලකිරීම ප්‍රේමකුමාර් ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක විය.

ප්‍රේමකුමාර් 1989 සැප්තැම්බර් 24 හමුදා අත්අඩංගුවට පත්වන්නේ පාලම් පොට්ටවුර් හිදීය. අත්අඩංගුවට පත් ප්‍රේමකුමාර් කන්තලේ සීනි කම්හල ආශ්‍රිතව තිබූ හමුදා කඳවුරේ රඳවා තිබිණි. එවකට කන්තලේ අණදෙන නිලධාරියා වූයේ ලූතිනන් කර්නල් සරත් ෆොන්සේකාය.

වසරක සිරදඬුවමක් …

ප්‍රේමකුමාර් 1992 ඇරඹූ ප්‍රේම සම්බන්ධයකින් පසු විවාහ වූයේ ජවිපෙ 2වැනි කැරැල්ලේ ශිෂ්‍ය අංශයේ ක්‍රියාකාරිනියක වූ පේරාදෙණිය සරසවි වෛද්‍ය සිසු චම්පා සෝමරත්න හෙවත් මයුරි සමඟය.

ජවිපෙන් ඉවත්විමෙන් පසු ප්‍රේමකුමාර් ඇතුළු කණ්ඩායමක ගේ නායකත්ව‍යෙන් ගොඩනැඟූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව 2012 අප්‍රේල් පැවැත්වීමට තිබිය දී 2012 අප්‍රේල් 07 අලූයම කිරිබත්ගොඩ ගැමුණු මාවතේ දී කුමාර් අත්අඩංගුවට ගත් අතර ප්‍රේමකුමාර් හෙවත් නොයෙල් මුදලිගේ ඕස්ට්‍රේලියානු පුරවැසියකු බැවින් ඕස්ට්‍රේලියානු තානාපතිවරිය ගේද මැදිහත්වීමෙන් පසු 2012 අප්‍රේල් 09 රාත්‍රියේ මුදාහැරි අතර අප්‍රේල් 10 උදෑසන 7.40ට යළි කටුනායකින් ඕස්ට්‍රේලියාව බලා යවන ලදී.

ප්‍රේමකුමාර් ආපසු ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන හෙයින් නීතිවිරෝධීව රැදී සිටින බව පවසමින් ඔහුට වසරක සිරදඬුවමක් 2016 මාර්තු 31 නියම කළේය.

ප්‍රේමකුමාර් ගුණරත්නම් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස ලබා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය ලබා ගත්තේය.

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි වී ශ්‍රී ලංකාවේ පූර්ණ පුරවැසිභාවය රජය විසින් ප්‍රේමකුමාර්ට පිරිනමනු ලැබුවේ 2017 ජූනි 22දීය. එදින සිට ප්‍රේමකුමාර් පෙරටුගාමි සමාජවාදි පක්ෂය හරහා දේශපාලනයේ නිරතව සිටියි. ඔහුගේ බිරිය චම්පා සහ දරු දෙදෙනා ජීවත්වනුයේ ඕස්ට්‍රේලියාවේය.

Related Articles