ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට….

ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට….

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, තාවකාලික නවාතැන් පතා බ්‍රහස්පතින්දා තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ආරංචි මාර්ග දෙකක් පදනම්ව රොයිටර් මෙම පුවත පලකොට ඇත. කෙසේ වෙතත් තායිලන්ත ආණ්ඩුව මේ පිළිබඳව කිසිත් ප්‍රකාශ කොට නැත.

ගෝඨාභය රාජපක්ෂ ජූලි 14 දා මාලදිවයින හරහා සිංගප්පූරුවට පලා ගියේ ඉල්ලා අස් වූ පළමු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බවට පත් වෙමිනි. හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව බ්‍රහස්පතින්දා තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බව ආරංචි මාර්ග දෙකක් ප්‍රකාශ කළේ තමන්ව නම් නොකිරීමට ඉල්ලීම් කරමින් බව රොයිටර් පවසයි.

මේ පුවත පිළිබඳව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දැක්වූයේ නැත. තායි රජයේ ප්‍රකාශිකා රචඩා තනාදිරෙක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ “කිසිදු අදහසක් නැත” යනුවෙනි.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාව හැර යාමෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් සිදුකොට නැත. සිංගප්පූරු රජය මේ මාසයේ කියා සිටියේ ඔහුට කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබා දී නොමැති බවයි.

ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලය තුළ 2009 වසරේ දී ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා රජයේ හමුදා දෙමළ කොටි කැරලිකරුවන් පරාජය කරන ලදී. සමහර අයිතිවාසිකම් කණ්ඩායම්වලට දැන් අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනා විමර්ශනය කළ යුතු බවයි. රාජපක්ෂ මීට පෙර එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වන රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරයා නුදුරු අනාගතයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වැළකිය යුතු බව මීට පෙර පෙන්වා දී ඇත.

ජූලි 31දා වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ පැවසුවේ, “ඔහු නැවත පැමිණීමට කාලය මෙය බව මම විශ්වාස නොකරමි.” යනුවෙනි.

Related Articles