රනිල්ගේ ගමන කොහාටද?

රනිල්ගේ ගමන කොහාටද?

ශ්‍රී ලංකාවේ අරගලයේ ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දිනෙන් දින පොලිස් අත්අඩංගුවට පත්වීම මේවන විට ජාත්‍යන්තර අවදානයට හේතුවී තිබේ.

මෙම ක්‍රියාකාරීන් අත්අඩංගුවට පත්වන්නේ හදිසි නීතිය පනවා තිබියදී වීම මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ලට හේතුවී තිබෙන බවට එම සංවිධාන පවසන අතර වික්‍රමසිංහ ආණ්ඩුව දිගින් දිගටම තමන්ගේ මර්ධනකාරී වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි මානව හිමිකම් ක්‍රියාධරයින් මෙන්ම
විපක්ෂය පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් රජයට එරෙහිව එල්ලවන බලපෑම දිනෙන් දිනම උත්සන්න වෙමින් පැවතියත් තත්වයේ වෙනසක් නොවීම දිගුකාලීන ආර්ථික ස්ථාවරතත්වයට බාධාකාරී වන බව සමාජ විද්‍යාඥයින් පෙන්වාදෙති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් ද ශ්‍රී ලංකාවේ විරෝධතා මර්දනය කිරීම සඳහා හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම හෙලා දැක ඇත.

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ රටේ ආර්ථික කඩාවැටීම මධ්‍යයේ ඔවුන්ගේ දුක් ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කරමින් සිටීම පිළිගත නොහැකි තත්වයක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. “කරදර ඇති කරන්නන්ට” එරෙහිව දැඩි පිළිවෙතක් ගන්නා බව කියමින් ජනාධිපති වික්‍රමසිංහ ගෙනියන පියවර සැප්තැම්බර් මාසයේදී ජිනීවා හිදී රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී අභියෝගයට ලක්වීමට ඉඩ තිබේ.

2022 ජූලි 27 වන දින වත්මන් හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කිරීම, ඇඳිරි නීතිය පැනවීම සහ ආරක්ෂක හමුදාවන්ට සහ හමුදාවට පුළුල් හා අභිමතය පරිදි බලතල ලබා දීමට පාර්ලිමේන්තුවේ සහයෝගය මැනවින් ලැබී ඇත.

විචාරකයින් පවසන්නේ තමන්ට අරගලය පාලනය කිරීමේ හැකියව ඇති බව පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට ඒත්තු ගැන්වීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි. අරගල කරුවන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීම වන්නේ තමන් පොලීසියට සහ ආරක්ෂක හමුදාවට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙනවා හැරෙන්නට එතැනින් එහාට කිසිත් නොකරන බවයි.

මානව හිමිකම් විශේෂඥයින් සඳහන් කළේ “මෙම හදිසි නීතිය යටතේ සුළුතර කණ්ඩායම් අවදානමට ලක්විය හැකි” බවයි. මේ පිළිබඳව හොයා බැලීමට තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා පොරොන්දු විය. ජාත්‍යන්තර නීතිය යටතේ හදිසි නීති අවස්ථා බලතල භාවිතා කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටි අවශ්‍යතා සපුරා නොමැති බව ද ජාත්‍යන්තර විශේෂඥයින් අවධාරණය කොට සිටිති.

සිවිල් සමාජ නියෝජිතයන්, මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු විරෝධතාකරුවන් සාමකාමී විරෝධතා සන්දර්භය තුළ ආරක්ෂා කළ යුතු අතර ඔවුන් ඊට සහභාගී වීම හේතුවෙන් අපරාධ වගකීමකට මුහුණ නොදිය යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් විශේෂඥයින් රජයට සිහිපත් කර සිටි.

විශේෂඥයින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ හදිසි නීතියට අනුගතවීම නතර කොට දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ශ්‍රී ලාංකිකයන් සමඟ විවෘත හා අව්‍යාජ සංවාදයක් ඇති කරගැනීම වැදගත් බව ඔවුන් පෙන්වා දෙති.

Related Articles