ජනපති තරඟ  බිමේ ලකුණු  පුවරුව……

ජනපති තරඟ බිමේ ලකුණු පුවරුව……

නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ ඒකමතික අදහසක් නොමැති වීම හොඳ තත්වයක් නොවන බවයි හිටපු ජනාධිපති සිරිසේන මහතා පවසන්නේ. එහෙත් වැලැක්විය නොහැකි තරඟයක් ඇතිවෙමින් පවතී.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර මෙම සටන නිර්මාණය වී ඇති අතර තවත් ක්‍රීඩකයින් තරඟයට එක්වීමට ඉඩ ඇත.

දැනට පවතින තත්වයන් යටතේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇත .

කාලීන ලකුණු පුවරුව මෙසේ ය

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ:
පොහොට්ටුවෙත් යටි මෙහෙයුම් කරන රාජපක්ෂවරුන්ගේත් සහයෝගය ලැබෙන හෙයින් ඉදිරියෙන්ම සිටී. මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනුවට අත ගසා ඇති හෙයින් ඔහුට දිගටම වැඩ කරගෙන යාමට ඉඩදීම සුදුසු බව ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු මැදිහත් වී සිටින අතර, ඔහුට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනා ගැනීම සඳහා එම පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ හරින් සහ මනුෂ මූලිකත්වය ගෙන සිටින බව ද වාර්තාවේ. පොදුවේ රටේත් අරගල කරුවන් අතරත් විරෝධයක් තිබීම අවාසියකි. මේ විරෝධය තමන්ටද එල්ල විය හැකි බව ඇතැම් මන්ත්‍රීවරු කල්පනා කරනවා විය හැකිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,

මේ වන විට අවශ්‍ය මනාප ගණන ලබාගත නොහැකි තත්වයක සිටී. කෙසේ වෙතත් වෙනත් පක්ෂ වල සිදුවෙන බෙදීම් සහ දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලැබුන හොත් වාසිදායක තත්වයක් උදා විය හැකිය. අගමැති තනතුරට පසුබැස කඩුල්ල ආරක්ෂා කර ගැනීමට ද ඉඩ ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා පක්ෂයේ ප්‍රබලයන් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර, අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ද ඔහුට සහාය දීමේ සූදානමක නිරතව සිටිති.

ඩලස් අලහප්පෙරුම:

පොහොට්ටුවේ බහුතර සහයෝගය ලබාගත හැකි නම් වාසිදායක තත්වයක් උදාවනු ඇත . පොහොට්ටුවේ සභාපති ජී. එල්. පීරිස් පවසන්නේ ඩලස් අලහප්පෙරුම තම පක්ෂයේ සාමජිකයා වන බැවින් ඔහුට මනාපය පලකළ යුතු බවයි. පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටින්නේ දැන් රනිල් වික්‍රමසිංහ තමන්ගේ මිනිහෙක් බවට පත්ව ඇති හෙයින් ඔහුට සහයෝගය ලබාදිය යුතු බවයි.

පොදුජන පෙරමුණේ ප්‍රබලයින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දෙමින් ,රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන ලෙස, ඉල්ලීම් කරමින් සිටින බවද වාර්තා වේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා:

ෆීල්ඩ් මාර්ෂල්වරයා ගේ ක්‍රමෝපාය විය හැක්කේ ජනාධිපති තනතුරට තරඟ කොට පසුව අගමැති තනතුරට තරඟ කිරීම විය හැකිය. ඔහු පසුගියදා සජිත් ප්‍රේමදාස ජනාධිපති තරඟයට ඉදිරිපත් කිරීම ස්ථිර කළේය . ඒ අනුව මෙය මෙහෙයුමක් විය හැකිය.

මේ තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද පාර්ශ්ව තුනකට බෙදී ඇතැයි දැනගන්නට ඇත. එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට ද , තවත් කිහිප දෙනකු සජිත් ප්‍රේමදාස මහතාට ද , තවත් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුම මහතාට ද සහාය දීමේ පිළිවෙතක සිටින බව දැනගන්නට තිබේ.

මේ අතර, නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහාද, මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය සුදුසුකම් ඉදිරිපත් කරමින් සිටින බව දැනගන්නට ඇත.

අතිරේක ක්‍රීඩකයින් :

සභානායක දිනේෂ් ගුණවර්ධන , අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අගමැතිධූරය අපේක්ෂාවෙන් සිටින බවද දැනගන්නට ඇත. අතිරේක ක්‍රීඩකයින් ඉදිරිපත්වීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ පක්ෂ තුල සිදුවෙන බෙදීම්ය . බෙදීම් හේතුවෙන් මතුවෙන අනපේක්ෂිත තත්වයන් තුළ තමන්ට වැඩි වාසියක් ලබා ගත හැකි බව කල්පනා කරනවා විය හැකිය.

ප්‍රේක්ෂකාගාරය :

මේ වන විට ප්‍රේක්ෂකයින් හොඳටම හෙම්බත් වී සිටින අතර මෙය බල පොරයකට වැඩි යමක් නොවන බව තේරුම් ගෙන සිටිති . දැනට පිටියේ පවතින විකෘති තත්වයන් හේතුවෙන් තමන්ට වහාම යමක් කිරීම අසීරු බව හොඳින් තේරුම් ගෙන සිටිති.

Related Articles