තැනින්  තැන අරගලකරුවන්  අත්අඩංගුවට…

තැනින් තැන අරගලකරුවන් අත්අඩංගුවට…

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරකයෙකු වන නිදහස් මාධ්‍යවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී, ඇන්තනී වේරංග පුෂ්පිකව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය මානව හිමිකම් කොමිසමට දැනුම්දී ඇත.

නීතිඥ නුවන් බෝපගේ ඇතුළු සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කරන්නේ ඇන්තනී වේරංගව අද (27) පෙරවරුවේ කොළඹ කොටුවේ පැවති විරෝධතාවකට සම්බන්ධවී පසුව බස් රථයකින් ගමන් කරමින් සිටියදී බලහත්කාරයෙන් ඔහු රැගෙන ගිය බවයි.

ඇන්තනී වේරංග පුෂ්පිකව කොටුව ප්‍රදේශයේදී බලහත්කාරයෙන් රැගෙන ගිය බවට මානව හිමිකම් කොමිසමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව සිදුකළ දැනුම්දීමකින් අනතුරුවයි පොලීසිය මානව හිමිකම් කොමිසමට වාර්තා කොට ඇත්තේ.

ධනිෂ් අලී…

ජාතික රූපවාහිනියට ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා එල්ල කල බව කියන අරගලකරු ධානීෂ් අලි මේ වන විට කුරුදුවත්ත පොලීසිය විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබුණි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් ගණන් කල අය…

ජනාධිපති මන්දිරයේ මුදල් ගනින වීඩියෝවක සිටි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කොළඹ 14 හුසේනියා වීදියේ වෙළෙඳ සහයකයෙකු ලෙස කටයුතු කල පුද්ගලයෙකි.

මුදල් ගණං කිරීමේ අවස්ථාවේ ඒ අසළ ආරක්ෂාවට සෙබළෙකුද සිටි බව වාර්තා විය. මුදල් ගණං කිරීමෙන් පසු කොටුව පොලිස් ස්ථානාධිපතිවරාය වෙත ලක්ෂ 168 ක මුදලක් භාර දී තිබුනි.

රනිල් වික්‍රමසිංහ නිවසට ගිනිතැබූ අය…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 03 පස්වන පටුමගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට පහර දී ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදුනාගන ඇති ප්‍රධාන ක්‍රියාකාරීන් 14 දෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

සිද්ධියේ නිවැරදි අපරාධකරුවන් හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සදහා පොලිස් මුලස්ථානය මෙම පුද්ගලයන් 14 දෙනාගේ ඡායාරූප අද මාධ්‍යවෙත මුදාහැර තිබුණි.

සර්ව පාක්ෂික අරගලකරුවන්…

නිවේදනයක් නිකුත් කරන සර්ව පාක්ෂික අරගලකරුවන් පවසන්නේ තමන් සහ ආරක්ෂක හමුදා අතරේ ගැටුමක් ඇතිකිරීමට මෙන්ම ජනතාව අතරේ අප්‍රසාදයක් ඇති කිරීමටත් කුමන්ත්‍රණයක් දියත් වෙන අත‍ර ඒ යටතේ දිගින් දිගට අත්අඩංගුවට ගැනීම් සිදුවෙන බවයි.

Related Articles