මාර සාමයක්නෙ ඒක-නීතිඥ ටිරන්ත වලලියද්ද අනතුරු අඟවයි…

මාර සාමයක්නෙ ඒක-නීතිඥ ටිරන්ත වලලියද්ද අනතුරු අඟවයි…

අරගලය සාමකාමී ව්‍යාපාරයක් නොවන බව අධිනීතිඥ ටිරන්ත වලලියද්ද පවසයි. රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ විපක්ෂය බවත් තුනෙන් දෙකේ බලය හේතුවෙන් විපක්ෂය අකර්නම්‍ය වී ඇති බවත් අධිනීතිඥ ටිරන්ත වලලියද්ද පෙන්වා දෙයි.

මේ වන විට නිර්මාණය වී ඇති තත්ත්වය විසින් දෙසැම්බරය වන විට රටේ ලේ වැකි සිවිල් යුද තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවට අධි නීතිඥ ටිරන්ත වලලියද්ද අනතුරු අඟවයි.

අරගලය සාමකාමී අරගලයක් යැයි පැවසීම අතිශය වැරදි මතයක් බව ද ඔහු පවසයි. පාර්ලිමේන්තුව හෝ රජය පෙරලන බව කීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් බව වලලියද්ද පෙන්වා දෙයි.

ජනාධිපති එලියට ඇද දමනවා යැයි පැවසූ මොහොතේ සිට ම එය ප්‍රචණ්ඩකාරී කැරැල්ලක් බවත් නඩු වැටෙන්ට පටන් ගත් විට උපදෙස් දෙන අය නැතිවිය හැකි බව තමන් අරගලකරුවන්ට පවසන බව ඔහු පෙන්වා දෙයි.

”දැන් මෙහෙම හිතන්නකො. ඔයාගෙ ගේ ඉස්සරහට කවුරු හරි කට්ටියක් එක්ක ඇවිත් කෑ ගහනවා. බැහැපන් එලියට කියනවා. මේක සාමකාමීද? මාර සාමයක්නෙ ඒක!” නීතිඥ ටිරන්ත වලලියද්ද පවසයි.

මේ පිළිබඳව අරගලයට සම්බන්ධ නීති වේදියෙක් පැවසුවේ මහජන අරගල සහ විරෝධතා පිළිබඳව පටු නීතිමය දෘෂ්ටි කෝණයකින් බැලීම ප්‍රමානවත් නොවන බවත්, ශ්‍රීලංකාවේ මේතාක් සිදුවූ ජනතා විරෝධතා වලට වඩා මෙම අරගලය සාපේක්ෂ වශයෙන් සාමකාමී වී ඇති බවයි. කෙසේ වෙතත් නිරන්තරයෙන්ම නීතිමය රාමුව තුල සිටීමට අරගලකරුවන් කැප විය යුතු බව එම නීතිවේදියා පැවසීය.

Related Articles