බෝගම්බර හිර ගෙදරට ප්‍රසන්න ගෙන් කැබිනට් පත්‍රිකාවක්

බෝගම්බර හිර ගෙදරට ප්‍රසන්න ගෙන් කැබිනට් පත්‍රිකාවක්

නාගරික සංවර්ධන අධිකාරියේ වියදමින් නවීකරණය කරන ලද ඓතිහාසික බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල දළඳා මාලිගාවට වියදම් ප්‍රතිපුර්ණය කොට පවරා දිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා පැවසීය.

“නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කරන ලද ඓතිහාසික වශයෙන් වටිනා මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල සඳහා වියදම් කරන ලද මුදල් ආපසු ලබාගෙන දළඳා මාලිගාවට භාර දෙන ලෙස හෝ වෙනත් ආයෝජන ව්යාපෘතියක් සඳහා භාවිතා කරන ලෙස” රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධයෙන් යුහුසුළුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි ප්‍රසන්න රණතුංග කියා සිටියේ.

ඓතිහාසික වටිනාකමක්:
පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉතා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් වන අතර එහි ප්‍රධාන ගොඩනැගිල්ල හා කොටු පවුර ලෝක උරුමයක් ලෙසද නම් කොට ඇත.

1876 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් බෝගම්බර බන්ධනාගාරය පිහිටුවන ලද අතර ලංකාවේ පළමුවරට බන්ධනාගාර කෞතුකාගාරයක් එම ගොඩනැගිල්ලේ එක් කොටසක ඉදිකිරීමට යෝජනා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඒ අනුව මෙම ස්ථානයේ ශ්‍රී ලාංකාවේ බන්ධනාගාර ක්‍රමයේ විකාශනය, ශ්‍රී ලංකාවේ රජ කාලයේ සිට දඬුවම් ක්‍රම වල විකාශනය, අපරාධ යුක්ති ක්‍රමය, බන්ධනාගාර වල ඇති පෞරාණික භාණ්ඩ, සිර / සැක කරුවන්ගේ ඉතිහාසය, නිලධාරීන්ගේ විකාශනය, පුනරුත්ථාපන ක්‍රමවේද වල විකාශනය ඇතුලු ඓතිහාසිකව වැදගත් වන දෑ මහජනතාවට දැකගැනීමටත් මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන අයට ඒ පිළිබඳව අවබෝධයක් ලබා දීමත් මෙහි අරමුණ වී තිබින.

මෙම ස්ථානයේ කෞතුකාගාරයට අමතරව අධ්‍යයන කේන්ද්‍රයක්, බන්ධනාගාර නිෂ්පාදන අලෙවි කරන අලෙවි සැලක් හා බන්ධනාගාර ජීවිතය පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකි විශේෂිත වූ අවන්හලක් ඇතිකිරීමටද යෝජනා විය, මෙම අවහන්හලේ සේවකයින් බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් ලෙස සැරසී සිටිනා අතර ආපන ශාලාවේ ව්‍යුහය සිර මැදිරි ලෙස සකස් කිරීමට ද යෝජනා විය.

බන්ධනාගාර වෙබ් අඩවියට : පැරණි බෝගම්බර බන්ධනාගාරයේ කොටසක බන්ධනාගාර කෞතුකාගාරයක් පිහිටුවීමට යෝජනා කෙරේ.

Related Articles