මතීෂ කහ කුරුළු වෙසින්

මතීෂ කහ කුරුළු වෙසින්

චෙන්නායි පිලේ කහ කුරුල්ලා මින්දද හීසරකි. කඩවසම් හා දක්ෂතාව අපුරු දෙමුහුමකි.චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පවසන්නේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් තරග වලට යොදා නොගෙන සීමිත ඕවර් ක්‍රිකට් තරඟ සඳහා පමණක් යොදා ගැනීමෙන් ඔහු ශ්‍රී ලංකාවට සම්පතක් බවට පත්විය හැකි බවයි .

මතීෂ පතිරණ යනු ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහා බහුලව ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයෙක් නොවන බව මහේන්ද්‍ර සිං දෝනිගේ මතයයි. සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේදී පවා ඔහු පන්දුවාර 50 තරග සඳහාද හැකිතාක් අඩුවෙන් ක්‍රීඩා කළ යුත බවයි මහේන්ද්‍ර සිං දෝනි වැඩිදුටත් සඳහන් කර ඇත්තේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු 6ක ජයක් ලබාගැනිමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වෙද්දී එම තරගයේ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ මතීෂ පතිරණයි.

මේ වන විට මතීෂ ඉන්දීය තරුණියන්ගේ සිහින කුමරා බවට පත්ව සිටී.  ඔහු මුලින්ම අයිපීඑල් ගියේ 2022 වසරේදීය. ඔහුට ඒ අවස්ථාව උදා වූයේ එවර චෙන්නයි සුපර් කිංග්ස් පිලට ඇතුළත්ව සිටි ඇඩම් මිල්නේ තුවාල ලබා තරගාවලියෙන් ඉවත්වීම නිසාය. ගුජරාට් ටයිටන්ස් පිල සමඟ පැවැති මතීෂගේ කුලුඳුල් අයිපීඑල් තරගයේ පළමු පන්දුවෙන්ම ඔහු කඩුල්ලක් දවාගනිමින් අයිපීඑල් පිටියේ ‘මතීෂ ලකුණ‘ තැබුවේය.

චෙන්නායි පිල පසුගිය වසරේ අයිපීල් ශූරයන් ය. ඔවුන්ට ශූරතාව දිනා ගැනීමට මතීෂගෙන් ලැබුණු දායකත්වය සුළුපටු එකක් නොවූ බව ප්‍රසිද්ධ රහසකි. විස්සයි20 තරග බිමේ තීරණාත්මක අවසන් ඕවර කිහිපයේදී චෙන්නායි පිලේ විශ්වාසවන්තම පන්දු යවන්නා බවට පත්වීමට මතීෂට වැඩි කාලයක් ද ගත නොවීය. ඔහු තමිල්නාඩුවේ නිල නොවන ජාතික වීරයකු බවට පත් වූයේ ඒ අනුවය. තරගයෙන් තරගයට මතීෂගේ පන්දු යැවීම මුවහත් වෙද්දී තරගය නැරඹූ තමිල්නාඩුවේ ක්‍රීඩාලෝලීන් ආපසු නිවෙස් කරා ගියේ මතීෂගේ නම මතුරමිනි.

‘පතිරාණ…! පතිරාණ…!‘ හඬින් උස් හඬ නගන තරුණියන් පැයට කිලෝමීටර් 150ක වේගයෙන් පන්දු යවන මතීෂට ජය පතති. කඩුල්ලක් දවාගැනීමෙන් පසු මතීෂ දක්වන අපූරු ඉරියව්ව ක්‍රීඩා ලෝලීන්ගේ සිත්ගෙන ඇත .

අතැඟිලි එකට බැඳ ලැම මත තබාගෙන අඩක් පියවුණු දෑසින් ඔහු අහස දෙස බලද්දී කෙනකුට පෙනෙන්නේ ඔහුගේ දෑසෙහි පහළ සුදු පැහැති කොටස පමණි. කළු ඉංගිරියාව පෙනෙන්නේම නැති තරම්ය .

මෙවර අයිපීඑල් පිටියේදී මතීෂ කඩුල්ලක් දවාගැනීමෙන් පසු විදහා දැක්වූ මේ ඉරියව්ව ගැන විස්තර විචාරකයන් දෙදෙනකු අතර ඇති වූ කතාබහ අසන්නටම වටිනා එකකි. එය සිදු වූයේ දිල්ලි කැපිටල්ස් පිල සමඟ පැවැති තරගයේදීය.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල ඕවර 14ක් අවසන් වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 129ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය. මහේන්ද්‍ර සිං දෝනිගෙන් පසු චෙන්නායි පිලේ නායකත්වයේ සුක්කානම භාර වූ රටුරාජ් ගයික්වාඩ් 15 වැනි ඕවරය යැවීමට පන්දුව භාර කළේ මතීෂටය. හෙතෙම ඒ වන විට එක් ඕවරයක් යවා කඩුලු රහිතව ලකුණු 7ක් ප්‍රතිවාදීන්ට ලබා දී තිබිණි.

ඔහුගේ තුන්වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ මිචෙල් මාෂ් පස්වැනි පන්දුවෙන් අන්දමන්ද වී ගියේය. ඔහුට පිත්ත සෙලවීමටවත් ඉඩක් ලැබුණේ නැත. එය පැයට කිලෝමීටර් 153ක යෝකර් පන්දුවකි. ප්‍රතිඵලය වූයේ මාෂ්ගේ මැද ඉන්න ගැලවී විසිවීමය. ඒ මොහොතේ විස්තර විචාරකයන් කීවේ එය 2024 වසරේ අයිපීඑල් පන්දුව කියා ය. අවසන් පන්දුවට මුහුණදීමට පැමිණියේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ට්‍රිස්ටන් ස්ටබ්ස් ය. හෙතෙම ඊට පෙර රාජස්තාන් රෝයල්ස් පිල සමඟ පැවැති තරගයේදී නොදැවී ලකුණු 44ක් රැස් කළේ පන්දු 23කිනි. මතීෂගේ එම ඕවරයේ අවසන් පන්දුවට මුහුණ දීමට පැමිණි ස්ටබ්ස්ට වැටුණේ පැයට කිලෝමීටර් 149ක යෝකර් පන්දුවකි. ස්ටබ්ස්ට කට උත්තර නැති කළ එම පන්දුවෙන් ඔහුගේ පිට ඉන්න ගැලවී ගියේ මතීෂගේ නම කියා කෑ ගසන්නට වූ චෙන්නායි ක්‍රීඩාලෝලීන්ගේ හඬින් විශාකාපට්නම් ක්‍රීඩාංගණයම දෙදරවමිනි. චෙන්නායි ක්‍රීඩාලෝලීන්ට මතීෂ වීරයකු වෙද්දී දිල්ලි කැපිටල්ස් ක්‍රීඩාලෝලීන් ඔහු හඳුන්වනු ලැබුවේ ‘විනාශකාරයා‘ ලෙසිනි. චෙන්නායි ක්‍රීඩාලෝලීන්ට ඔහු ‘සුපර්මෑන් පතිරාණ‘ ය. තවත් පිරිසකට ‘අප්නා (අපේ) මාලිංග ය.

අකුණු වේගයෙන් පිට පිට පතිත වූ විස්මිත යෝකර් පන්දු දෙකකින් දිල්ලි පිලේ ඉනිම උඩුයටිකුරු වෙද්දී විස්තර විචාරයේ යෙදී සිටි ඉයන් බිෂොප් අසුනින් නැඟී සිටියේය.

‘නම මතක තියාගන්න… ! මතීෂ පතිරණ…!‘

‘මම සාමාන්‍යයෙන් කඩුල්ලක් වැටුණම පුටුවෙන් නැඟිටින කෙනෙක් නෙවෙයි. ඒත් පිට පිටම අදහාගන්න බැරි යෝකර් පන්දු දෙකක්ම…! නැඟිටින්නේ නැතුව කොහොමද.?‘

ඊළඟ දෙබස ඇති වූයේ බිෂොප් සහ සංජේ මංජේකර් අතරය.

‘මතීෂගේ කඩුලු ප්‍රීතිය ඔබට දැනෙන්නේ කොහොමද? බිෂොප් සිය සගයාගෙන් එසේ ඇසුවේ දෙවැනි කඩුල්ලත් බිඳ දැමීමෙන් පසු මතීෂ සුපුරුදු ප්‍රීතිය ප්‍රදර්ශනය කළ මොහොතේදීය.

‘අපොයි..මහ රෑක හෝටලයේ කොරිඩෝවේදී මේක දැක්කා නම් මම ආපහු හැරිලා දුවනවා‘ මංජේකර් එසේ කීවේය. පිතිකරුවාට භීතිය දනවනසුලු මතීෂගේ කඩුලු ප්‍රීතිය ක්‍රීඩාලෝලින්ට නම් ගෙන දෙන්නේ අපමණ සතුටකි. දැන් මතීෂගේ පන්දුවකින් කඩුල්ලක් බිඳ වැටෙද්දී චෙන්නායි ක්‍රීඩාලෝලීන් එම ඉරියව්වෙන් සතුට සමරන්නේ මතීෂටත් පෙර ය. පසුගිය වසරේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල අයිපීඑල් ශූරතාව දිනා ගත් මොහොතේ පිටියට පිවිසීමට අවසර ලැබූ ප්‍රභු පැළැන්තියේ සුරූපි තරුණියන් මතීෂට සුබපැතුවේ එම ඉරියව්වෙනි. එය බැලීමට ප්‍රිය උපදවන දසුනක් ද වේ.

චෙන්නායි පිලේ කහ කුරුල්ලා රැකි උඩපන්දුවත් අපුරු දසුනකි.

Related Articles