මනුතාපයේ ජනවර්ධන තාමත් අරගලයේ

මනුතාපයේ ජනවර්ධන තාමත් අරගලයේ

මනුතාපය ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝගේ ‛Les Misérables’ නවකතාවේ අනුවර්තනයකි. 1862 වසරේදී මුලින්ම පල කරන ලද එම කෘතියට පාදක වන්නේ 19 වැනි සියවසේ ප්‍රංශයේ පැවතී සමාජ දේශපාලන පසුබිමයි.

මනුතාපය ‘ලේ මිසරෙබ්ලේ’ නවකථාවේ සිංහල අනුවර්තනයයි. එය 1973 ජනවාරි 07 වැනිදා දිවියෙන් සමුගත් හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු වූ අයි.ඇම්.ආර්.ඊ.ඊරියගොල්ල මහතාගේ නිර්මාණයකි. කලක් මනුතාපය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස පැවතිණ. ‘දේවතාපය’ ඔහුගේ තවත් අනුවර්තන කෘතියකි.

ලේ මිසේරබ්ලේ නවකතාව ලොව පුරාභාෂා 28 කට පරිවර්තනය වී තිබේ.ලන්ඩනයේ වේදිකාගත වන ‘Les Misérables’ ගීත නාටකය වසර 38 පුරා අඛණ්ඩව තවමත් ප්‍රදර්ශනය කෙරේ. දිනපතා වේදිකාගත කෙරෙන, එය ජනතාවට කෙතරම් සමීපවී ඇත්ද යත් සෑම දිනකම ලන්ඩනයේ සොන්ඩ්හයිම් රඟහල පිරී පවතී. එසේම ලොවපුරා එවැනිම ‘Les Misérables’ ගීත නාටක විවිධ භාෂ පනස් තුනකින් නිර්මාණය කොට ඇති අතර මෙතෙක් නැරබූ පිරිස මිලියන 130 ඉක්මවා යන බව ලන්ඩනයේ ‘Les Misérables’ නිෂ්පාදනය කල මැකින්ටොෂ් තියටර් සමාගම ප්‍රකාශ කරයි.

දේශපාලකයකු, නවකථාකරුවකු, සාහිත්‍යධරයකු, පුවත්පත් කතුවරයකු, සහ පරිවර්තකයකු වූ ඊරියගොල්ල මහතා උප පොලිස් පරීක්ෂකයකු ලෙසද කටයුතු කොට තිබේ. ඊරියගොල්ල කතුවරයා 1962 දී මනුතාපය නවකතාව සමාජයට පිළිගන්වමින් සාකච්ඡාවට බඳුන් කල ප්‍රශ්න අඩු වරප්‍රසාද හිමි හෝ කිසිදු වරප්‍රාදයක් නොමැති ශ්‍රී ලාංකික ජනතාව වසර 62 කට පසුවත් අදටත් මුහුණ දෙති.

රදල පන්තිය විසින් දුගී ජනතාව ශාරීරික හා මානසික වධ බන්ධනවලට ලක් කිරීම සහ ඔවුන් ඊට මුහුණ දෙමින් ගෙවන අන්ත අසරණ ජීවන අරගලය වික්ටර් හියුගේ ‛Les Misérables’ කෘතියෙන් ඉතා ප්‍රබල ලෙස ඉදිරිපත්කරයි. නවකථාව පුරාම දිවෙන්නේ නූගත්කම, අසාධාරණය, ස්ත්‍රී දුෂණය, රැකියා වියුක්තිය, නීතියේ ආධිපත්‍යය, හා පොලිස් මර්ධනය හමුවේ අසරණ වන මිනිසුන්ගේ ඛේදවාචකයයි. එසේම ආදරය හා දයාව කුළු ගැන්වුණු මනුෂත්වය ද ඒ හා සමානව විනිවිද විදහා දැක්වෙයි.

පාන් ගෙඩියක් හොරකම් කිරීම නිසා ජීන් වවුසාන් (Jean Valjean) ටූලොං ගැලියේ සිරකරුවකු බවට පත්වෙයි. ඔහු වහලෙකු බවට පත්ව විවධ වධ බන්ධන වලට ලක්වෙයි. ටූලෝං ගැලියෙන් නිදහස ලබා යලි සමාජ ගත වුවත් ඔහු අපරාධකරුවකු ලෙස සලකා ධනවත් සමාජය පිළිකෙව් කරයි. ඉබාගාතේ යන ඔහු අවසානයේ දේවස්ථානයකට ගොස් මුණගැසුණු රදගුරුතුමෙකුගේ දයාන්විත ඇසුර ලබා අලුත් මිනිසකු බවට පත්වෙයි. අනතුරුව, යලිත් සමාජයට පිවිසීමට ගන්නා උත්සාහයත් ඉන් දැක්වෙයි. ඉන් පසු තම සතුරන්ට පවා අනුකම්පාව දක්වමින් අප්‍රමාන දයාවෙන් පිරි හදවතින් මිනිසුන්ට ආධාර උපකාර කිරීමට ජීන් වවුසාන් දිවිහිමියෙන් කැපවෙයි.

1965 ඩඩ්ලි සේනානායක රජයේ අධ්‍යාපන සහ සංස්කෘතික ඇමතිවරයා වූ ඊරියගොල්ල මහතා පාසල්වල විෂය නිර්දේශයට කෘෂිකර්මාන්තය හඳුන්වාදෙන ලදී. එසේම පාසල්වල පුස්තකාල ලබාදීම සිදුවූයේද, ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය පිහිටුවාලීමද සිදුවූයේ එම කාල සීමාව තුළදීයි. බුද්ධ ශ්‍රාවක ධර්ම පීටය පිහිටුවීම ආදී තවත් සේවාවන් රැසකි.

‘සැම දන මන දිනු සුජාත ධරණී’සහ’ලෝකෙන් උතුම් රට ලංකාවයි’ යන ගීත පාසල් අවදියේ මිමුණුවා ඔබට මතක ඇති එම ගී හඬත් පාසල් තුර්ය වාදක කණ්ඩායමක් විසින් මවන මිහිරත් අතරින් මතකයට නැගෙන්නේ එම ගීත රචනා කරමින්ද, පාසල් තූර්ය වාදක කණ්ඩායම් හඳුන්වා දෙමින්ද පාසල තුල සංස්කෘතික නවෝදයක් ඇතිකල හිටපු අධ්‍යාපන සහ සංස්කෘතික ඇමතිවරයකු වූ ඊරියගොල්ල මහතායි.

විමලසේන හේවගේ

 

Related Articles