මාකිලංගමුවේ සංජීව අපරාධ  රැල්ලේ සුලමුල…..

මාකිලංගමුවේ සංජීව අපරාධ රැල්ලේ සුලමුල…..

ගෙවී ගිය මාසය තුල වෙඩි තැබීම් තිහක් සිදුවී ඇති අතර මෙම ඝාතන 30න් ඝාතන 18ක්ම සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළය. සෙසු ඝාතන 12 සිදුව ඇත්තේ දකුණු පළාත ආශ්‍රිතවය.

ඝාතන දාහතක වෙඩික්කරුවෝ තවමත් සිටින්නේ නිදැල්ලේය.ගයාන් කුමාර වීරසිංහ මාධ්‍යවේදියා වාර්තා කරන පරිදි බස්නාහිර සහ දකුණේ සිදු වූ ඝාතන වලින් වැඩි හරියකට වගකිව යතු වූයේ හරක් කටා සහ මාකිලංගමුවේ සංජීව යන මත්ද්‍රව්‍ය ජවරම්කරුවන්ය. වාර්තාවෙන ආකාරයට හරක් කටාගේ සෘජු සම්බන්දකම් ඇතිව සිදු වූ බව කියන ඝාතන ගණන පහකි . මාකිලංගමුවේ සංජීවව ඝාතන හයකට සම්බන්ධය ගණන 06කි.

අඹ ශානාගේ ඝාතනය…

පෑලියගොඩ මැනිං වෙළද පොළේදී සිදුවූ අඹ ශානාගේ ඝාතනයත් ගම්පහ අධිකරණය ආසන්නයේ සිදුවූ පස් පොඩ්ඩා ඇතුළු දෙදෙනෙකුට මරු කැදවූ වෙඩිල්ලත් හැරුණු කොට ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවූ ඝාතන 07න් 04කටම වගකිව යුතු වූයේ මාකිලංගමුවේ සංජීවය . පස් පොඩ්ඩාගේ ඝාතනයට පළිගන්නට කෙහෙල්බද්දර පිහිටි බාබර් සාප්පුවකදී කරණවෑමියකුට වෙඩි තබා මරා දමවන්නේත් කෙහෙල්බද්දර පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයක හිමිකරුවකුට වෙඩි තබා මරවන්නේත් මාකිලංගමුවේ සංජීවයි. පෑලියගොඩ පටිටිය හන්දියේදී පොලිස් අත්තනායක නම් වූ මත්කුඩු ජාවාරම්කරුවකු ඝාතනය කෙරුණු වෙඩිල්ලේද නම ලියැවී ඇත්තේ මාකිලංගමුවේ සංජීවගේ බව සිළුමිණේ ගයන් කුමාර වීරසිංහ වාර්තා කරයි.

වත්තල ඇලකන්දේ කායවර්ධන මධ්‍යස්ථානයක් අසලදී ජූනි 14 වැනිදාත් මට්ටක්කුලියේදී අගොස්තු 26 වැනිදාත් තරුණයන් දෙදෙනකුට මරු කැදවමින් පත්තුවූ වෙඩි තැබීම් පිටුපසද සිටින්නේ මාකිලංගමුවේ සංජීව බව වාර්තාවේ .

දරුණුතම කල්ලි නායකයෙක්…

මාකිලංගමුවේ සංජීවඅපරාධකරුවන් අතර දරුණුතම කල්ලි නායකයෙක් ලෙස ක්‍රියාත්මක වෙන් බවයි පොලීසිය පවසන්නේ.

මාකිලංගමුවේ සංජීව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළද සමත් විශ්ව විද්‍යාල වරම් ලබන්නට පවා සුදුසුකම් ලැබූවෙකි.

ඔහු සමූපකාර පරීක්ෂකවරයෙක් ලෙස ගම්පහ සමූපකාරයක සේවය කොට හමුදා කමාන්ඩෝ බලකායට පසුව එක්විය එක්වන්නේ රට ජාතිය ගැන ඇතිවුණු කැක්කුමකිනි. එහෙත් ඔහු වැඩි කාලයක් හමුදා සේවයේ නිරතව සිටි බවක් පෙනෙන්නට නැත. හමුදා සේවයට සමුදෙන සංජීව නයිවල පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක උපදේශකයෙක් ලෙස සේවයට එක්වන්නේ කායවර්ධන ක්‍රීඩාවට දැක්වූ ඇල්ම නිසාමය. කායවර්ධන ශිල්පියෙක් මෙන්ම කරාතේ ශූරයෙක් වූ බැවින් සංජීවට එම රැකියාව හොඳින්ම ගැළපුණේය.

කලගෙඩිහේනේ ආයතනයකට අයත් බේකරි කෑම බෙදාහරින ලොරියකින් රුපියල් 65,000ක් හා රන් මාලයක් කොල්ලකෑම ඔහුගේ පළමු වාර්තා ගත අපරාධයයි.

රුපියල් කෝටි හතේ මංකොල්ලය…

පෑලියගොඩදී පැත්තේදී මුදල් සේප්පු ලොරියේ තිබු රුපියල් කෝටි හතේ මංකොල්ලයටත් ඔහු දායක විය.
කෝටි හතේ මුදල් කොල්ලයට එදා ඇතුළට යන සංජීව එළියට එන්නේ අපරාධ ලෝකයේ චරිතයක් බවට පත්වෙමිනි.

බ්ලූමැන්ඩල් සංඛ, ආමි සම්පත් මෙන්ම මාකිලංගමුවේ සංජීවද බන්ධනාගාර බස් රථයට එල්ලකල ප්‍රහාරයක් සම්බන්දයෙන් 2015දී අත්අඩංගුවට පත් වූ අතර මාකිලංගමුවේ සංජීව ඇතුළු අපරාධකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් ගිනි අවි විසි හතක් හොයා ගත්හ
කරුණා පාර්ශවයේ අවි මඩකලපුවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටින ඉංජිනේරුවරයෙක් හරහා එල්.ටී.ටී.ඊ.යේ කරුණා පාර්ශවයේ සාමාජිකයන් සතු අවි පාතාලය අතට පත්වීමේ සංවිධානාත්මක ජාවාරමක් මාකිලන්ගමුවේ සංජීව මෙහයවූ බව හෙලිදරව් විය.

ගම්පහ පැත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ඔස්මන් මර දැමීම සඳහා සංජීව සැලසුම් කරන්නේ බන්ධනාගාරයේ සිටය.

ඔස්මන් ගමන් කරමින් සිටි ජිප් රථයට උඩුගම්පොල පැත්තේදී වෙඩි වර්ෂාවක් එල්ලවන්නේ පත්තඬුවන අජිත් නැමැති පාතාල අපරාධකරු යොදාගෙනය. එහෙත් එදා ඔස්මන්ට සීරීම් තුවාලයක්වත් නොවීය. එහි ලැජ්ජාව වසා ගනිමින් දෙවැනි ප්‍රහාරය එල්ල කරන්නට ඔහු සූදානම් වන්නේ එකවර වෙඩික්කරුවන් දෙතුන් දෙනෙක් යොදා ටී 56 අවිවලින් ඔස්මන්ව කුඩු පට්ටම් කරන්නටය.

එදා 2017 වසරේ ඔක්තෝබර් 02 දාය. ඔස්මන්ට කුරුමාණම් අල්ලමින් මෝටර් රථයක නැගුණු සංජීවගේ වෙඩික්කරුවන් ගම්පහ පැත්තේ කරක් ගසමින් සිටියේය. ඒ වන විටත් ඔස්මන් හැම දෙයක්ම දැන සිටියේය. ඒ නිසාම ඔහු ඒ වෙඩික්කරුවන්ට උගුලක් ඇටෙව්වේය. ඊට පැටලුණු ඔවුන් අවසානයේදී ගම්පහ රෝහල අසල මෝටර් රථය දමා පළායන්නේ වෙඩි තබන්නට ගෙන ආ ටී 56 අවි 03ක්ද එහි අතහැර දමාය.

සිය ප්‍රතිවාදියාට එසේ ඉව අල්ලමින් සංජීව හිරේ සිට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම කරගෙන යන්නට වූයේ ඇප ලැබුණත් එළියට නොයාය. ඒ ඔහුට බන්ධනාගාරය තරම් ආරක්ෂිත ස්ථානයක් නොවූ බැවිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ඝාතන සැළසුමට පවා ඔහු සම්බන්ධ වන්නේ සිරගතව සිටියදීය.

වැල්ලවත්ත පොලිස් මත්කුඩු ජාවාරම…

වැල්ලවත්ත පොලිස් ස්ථානයේ රඳවා සිටියදී පොලිස් නිලධාරියෙක් සමඟ මිතුරු වෙමින් ජංගම දුරකතන දෙකක් සිර මැදිරියට ගෙන්වා ගත්තේය. ඒ සිම්කාඩ් පත් හය හතක්ද සමගිනි. සිර මැදිරියේ වැසිකිලියේ බිම හාරා එහි එම ජංගම දුරකතන දෙක සහ සිම්කාඩ්පත් සඟවාගත් සංජීව එහි සිට යස අගේට මත්කුඩු ජාවාරම මෙහෙයැ වූයේය.

මාස ගණනාවක්ම රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාශභාරයේ සිටි සංජීව නැවත බන්ධනාගාරයට භාරදෙන විට ඔහුට එරෙහිව තිබුණු එක් නඩුවක් හැරුණු කොට සෙසු සෑම නඩුවකින්ම ඔහු සිටියේ ඇප මත නිදහස ලබාය. ඉතිරිව තිබුණේ ද පහසුවෙන්ම ඇප ලබා ගැනීමට හැකියාව තිබුණු ගම්පහ අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවකි. එම නඩුවට සංජීව ඇප ඉල්ලන්නේ අවසානයටය.

නීතීඥ මඩුල්ලක් භාරයට

රටේ නමගිය ජනාධිපති නීතීඥවරයකුගේ නීතීඥ සමාගමක් සංජීව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය. එහිදී අධිකරණය විසින් සංජීවට ඇප නියමකරමින් නියෝග කරනුයේ ඔහුව නීතීඥ මඩුල්ලක් භාරයට පත්කරන ලෙසය. එදා අධිකරණයෙන් ඇප ලබා සංජීව එළියට එන්නේ නීතීඥවරු පිරිසකගේ ආරක්ෂාවක් සහිතවය. එසේ නොවන්නට අද මාකිලංගමුවේ සංජීව නැමැති පාතාල අපරාධකරුවකු සොයාගන්නටවත් නොමැත.

බෝට්ටුවක නැඟී ඉන්දියාවට…
එදා නීතීඥවරයකුගේ රථයක නැඟී අධිකරණ භූමියෙන් පිටව ගොස් අතුරුදන්වන සංජීව මාර්තු 15 වෙනිදා කල්පිටියෙන් බෝට්ටුවක නැඟී ඉන්දියාවට පැන ගන්නේ වැල්ලේ සාරංගේ සහයෙනි. සංජීව නැවතත් වැඩ අල්ලන්නේ ඉන්දියාවේ සිටය. ඒ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට කොළඹ – නුවර මාර්ගයේ කඩවත 09 කණුව ආසන්නයේදී මාර්තු 24 වෙනිදා වෙඩි තබා ඝාතනය කරවමිනි.

එම ද්විත්ව ඝාතනය කරවන්නේ සිය අනියම් බිරිය ක්‍රිෂාන්තියේ මන දොල සපුරන්නටය. ඒ ක්‍රිෂාන්තියේ සැමියා වූ චූටි උක්කුං ඝාතනයට ඔවුන් දෙදෙනාව මරා පළිගනිමිනි. ඔහු ක්‍රියාත්මක වන්නේ සැබෑ ලෙසම තාමත් ඉන්දියාවේ රැඳී සිටිමින්දැයි ඇත්තේ ගැටලුවකි. ඒ ඉන්දියාවට ගොස් මාසයකට දෙකකට වැඩි කාලයක් මදුරාසියේ ඔහු රැඳී නොසිටි බවට ඇති තොරතුරු නිසාය. සංජීවගේ පසු පස්සේ පන්නන විමර්ශන අංශවල නිලධාරීන් නම් පවසන්නේ සංජීව නැවතත් බෝට්ටුවකින් පැමිණ මෙරට සැඟවී පිටරටක සිටින බව පෙන්වමින් අපරාධ මෙහෙයවමින් සිටින බවකි.

Related Articles