මිනිස් ජීවිතයක් තුට්ටු  කීයක් වටීද ?

මිනිස් ජීවිතයක් තුට්ටු කීයක් වටීද ?

සිවිල් ඇඳුමෙන් සැරසී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් තම ගේ අත තිබු ගිනි අවියෙන් වඩු කාර්මික රොෂාන්ත කුමාරසිංහ මර දැමීම හුදු අහම්බයකට වැඩි යමක් බව මානව හිමිකම් සංවිධාන , නීතිවේදීන් මෙන්ම නාරම්මල, රන්මුතුගල ගම්වාසීන් පෙන්වා දෙති.

පොලිස් බලතල වගකීම් විරහිත ආකාරයකට භාවිතා කිරීමේ පසුබිමක් නිර්මාණය වූ විට බිම් මට්ටමේ නිලධාරීන් වගකීම් විරහිත ආකාරයකට කටයුතු කරන බවයි මේ පිරිස් පෙන්වා දෙන්නේ.

නාරම්මල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙ ක් සිවිල් ඇඳුමෙන් සැරසී ලොරි රථයක් නවත්වන ලෙස රියදුරුට සංඥා කොට එය නැවැත්තුවේ නැති විට එය හඹා ගියේ මන්ද යන ප්‍රශ්නය මතුවේ.

අදාළ ලොරි රථය නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ පිහිටි එළවලු වෙළෙඳසැලක් ආසන්නයේදී නවතා පරික්ෂා කිරීමට උත්සහ කිරීමේදී මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ අතේ තිබු ගිනි අවිය මිය ගිය පුද්ගලයාගේ ඔලුවට එල්ල කොට ඇත .

එය වැරදීමකින් ක්‍රියාත්මක වූ බවයි දැනට අත්අඩංගුවේ සිටින උප පොලිස් පරීක්ෂකවරයා පවසන්නේ .

“හිතලා කළේ නැහැ මල්ලි. බය ගන්වන්න වෙපන් එක පෙන්නුවේ’ යයි උප පොලිස් පුද්ගලයා මර දැමීමෙන් ටික වේලාවකට
පසු පැවසීය.

එතැන සිටි අයෙක් පැවසුවේ ‘ මේක යකාගේ බය ගැන්නිල්ලක්නේ’ යනුවෙනි.

නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේ දී සිදුවූ මෙම සිද්ධියේදී උප පොලිස් පරීක්ෂකවරයාට ගිනි අවිය භාවිත කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

“මෙතැනදී ලොරි රථයේ සිටි පුද්ගලයාගෙන් පොලිස් නිලධාරීයාට එරෙහිව කිසිම අභියෝගයක් හරි කිසිම ප්‍රතිරෝධයක් එල්ල වෙලත් නැහැ.”

“පොලිස් නිලධාරියාට ගිනි අවියක් භාවිත කරන්න තරම් කිසිම දෙයක් වෙලා නැහැ.” යයි ඔහු පැවැසීය .

නාරම්මල පොලිස් වසමේ දී සිදුවූ පොලිස් වෙඩිතැබීමේ සිද්ධියේදී පොලිස් නිළධාරීන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් එහි යවන ලෙස නියෝග කොට ඇත්තේ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිටින වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වන හෙයින් සධාරණ පරීක්ෂණයක් පිළිබඳව මානව හිමිකම් ක්‍රියාධරයින් තල ඇත්තේ අඩමානයකි .

මානව හිමිකම් කඩනොවන ආකාරයට යුක්තිය මෙහෙයුම කරගෙන යා යුතු බව එක්සත් ජාතින් ගේ මානව හිමිකම් සංවිධානය දැක්වූ අදහස් සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ තමන් ඒ අදහස් තුට්ටුවකටවත් ගණන් නොගන්නා බවයි.

මෙවැනි වාතාවරණයක් යටතේ බිම් මට්ටමේ පොලිස් නිලධාරීන් මිනිස් ජීවිත තුට්ටුවකට ගණන් නොගැනීම පුදුමයට පත් වීමට කරුණක් නොවේ.

එහෙත් පුදුමයට කරන වන්නේ පරිණත රාජ්‍ය පාලකයෙක් වන රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඇමතිවරයෙකුට මේ ආකාරයට කටයුතු කරනට ඉඩ දීමයි.

Related Articles