රටේ නීතී පාර්ලිමේන්තුවට ඔට්ටු  නැහැ – අමාත්‍ය  බන්දුල…

රටේ නීතී පාර්ලිමේන්තුවට ඔට්ටු නැහැ – අමාත්‍ය බන්දුල…

පාර්ලිමේන්තුව තුළ සිදුවන දේපල විනාශ කිරීම් හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පොදු දේපල විනාශ කළ බව කියමින් අරගලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නා සේ පසුගිය රජය සමයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම්වලදී එහි දේපලවලට හානි කළ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් පියවර නොගත්තේ ඇයිදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

රටේ පවතින සාමාන්‍ය නීති යටතේ පාර්ලිමේන්තු දේපල විනාශ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කළ නොහැකි බව පැවසූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බවයි.

මීට පෙර සිදුවූ පාර්ලිමේන්තු දේපල විනාශය පිළිබඳව පරීක්‍ෂණ කළ යුත්තේ පාර්ලිමේන්තුවේදී බවත් කී ඇමතිවරයා එසේ නොකළා නම් ඒ ගැන කතානායකතුමාගෙන් විමසිය යුතු බව ද කීවේය.

2018 නොවැම්බර් 14, 15, 16 යන දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළ ගැටුම්කාරි තත්වයක් ඇති කරමින් පාර්ලිමේන්තුවේ මහජන දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවට ඒ පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

එම වාර්තාව කථානායක කරූ ජයසූරිය මහතාට ලබාදුන් අතර එය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.

මෙම කමිටුව කථානායක කරූ ජයසූරිය මහතා විසින් පත් කෙරුණු අතර එහි ප්‍රධානත්වය නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් දරණ ලදී. මෙම කමිටුවට රංජිත් මද්දුම බණ්ඩාර, චමල් රාජපක්ෂ, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් ඇතුළත් විය.

පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කළ ප්‍රසන්න රණවීර කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් තමන් අවම බලය පාවිච්චි කල බවයි.

Related Articles