ලලිත් කොතලාවල ප්‍රහේලිකාව

ලලිත් කොතලාවලගේ මරණය පිළිබඳව මේ වන විට විවෘත තීන්දුවක් ලබාදී සිරුර කොටස් රස පරීක්ෂකට යොමු කොට ඇත. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ ක්‍රියාකලාපය මෙන්ම මරණය ද ගැටළු රැසක් මතු කරයි.

ලලිත් කොතලාවල මහතා මරණයට පත්වූයේ ඉකුත් ඔක්තෝබර් මස 21 වැනිදා අලුයම් කාලයේදී වුවද එදින සවස් කාලය වන තෙක්ම ඒ මහතාගේ දේහය බාරගැනීම සඳහා කිසිවකු හෝ ඉදිරිපත් නොවුණ බව බම්බලපිටිය පොලීසියේ විමර්ශන නිලධාරී පොලිස් සැරයන් (8764) කේ. ඩබ්ලිව්. විමලරත්න මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේය.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝගයෙන් තමා කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදු කිරීමේ කටයුතු සඳහා යොමු වූ බවත්, එහිදී තමා ලලිත් කොතලාවල මහතාගේ භාර්යාව වූ සිසිලියා කොතලාවල මහත්මිය හමුවීමට ගියත් ඇයගේ ආරක්ෂක නිලධාරින් ඒ සඳහා අවස්ථාවක් සලසා නොදුන් බවයි පොලීසිය පවසන්නේ.

බිරිඳ සිසිලියාද වැඩෙන් කර ඇරීමට උත්සාහ කොට ඇත.

“මේ පිළිබඳව වගකීමක් ගන්න බැහැ. මාගේ නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දීමක් කරන්නම්. කොතලාවල මහත්මයා පදිංචිව සිටියේ අංක 13 ද ෆොන්සේකා පාර බම්බලපිටිය ලිපිනයේ. එම ස්ථානයේ සිටින අයගෙන් මේ මරණය සම්බන්ධයෙන් අහලා බලන්න” යැයි කොතලාවල මහත්මිය තමාට දැනුම් දුන් බව. සාක්ෂිකාර පොලිස් නිලධාරියා පැවසීය.

පසුව සිසිලියා කොතලාවල ගේ අනුදැනුම මත පැමිණි ෂෙරීන් විජේරත්න නම් කාන්තාව ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත බව කියමින් පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

එම්. සිසිර කුමාර සමරකෝන් (61) මහතා අපුරු හෙළිදරව්වක් කළේය.
“ස්වාමිනී, මම වසර 35ක් ලලිත් කොතලාවල ළඟ සේවය කළා. මාව එතැනින් අයින් කළේ නිරෝෂා මිස්. සර්ට මාසෙකට රුපියල් ලක්ෂ 60ක් 70 ක් විතර ප්‍රමාණයක් මුදල් ලැබෙනවා. ඒ සල්ලි කවුරු හරි ගත්තාම සර් මට ඒක කියනවා. ඒ නිසාම තමයි නිරෝෂා මිස් මාව එතනින් අයින් කළේ.”
මේ අනුව විශාල පිරිසකට නය වී සිටි ලලිත් කොතලාවල අන්තිම දවස් වලත් යහමින් මුදල් අත පත ගා ඇත.

සාක්ෂිකාර මහින්ද උපසේන ගමගේ (68) මහතා සාක්ෂි දෙමින් පැවසුවේ ලලිත් කොතලාවලට නඩු 45ක් පමණ තිබුන බවයි.
“අන්තිම වෙනකල්ම සර් හිටියේ සතුටින්” යැයි මහින්ද උපසේන ගමගේ පැවසීය,

සාක්ෂිකාර සුනේත්‍රා කුමාරි රණසිංහ (58) දැනට බොහෝ දෙනාගේ චෝදනාවට ලක්ව සිටින නිරෝෂා ප්‍රියදර්ශනී පිළිබඳව අපුරු හෙලිදරව්වක් කලාය.

“මම අවුරුදු 22ක් සර් ළඟ වැඩ කළා. පසුව මාවත් මගේ දියණියත් 2022 ඔක්තෝබර් මස 13 වැනිදා ඒ කඩෙන් එළවලා දැම්මේ නිරෝෂා ප්‍රියදර්ශනී කියන අය. මම සර්ගේ සියලුම දේවල් දන්නවා. මේ අය සර්ව කාමරයක දාලා හිරකරගෙන හිටියා. මම සර්ගෙ සියලුම දේවල් දන්න නිසා තමයි මාව එළෙව්වේ. සර්ට කෑම බිම දුන්නේ සර්ගේ හැම දේම කළේ නිරෝෂයි සමන් ලියනගේ යන අයයි.”

Related Articles