වසන්ත  මුදලිගේට  කරදරයක් වෙයිද ?

වසන්ත මුදලිගේට කරදරයක් වෙයිද ?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගේ රාත්‍රී කාලයේ තැනින් තැනට ගෙන යමින් ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

වසන්ත මුදලිගේ ගේ ජීවිතයට එල්ලවී ඇති තර්ජනය පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඔක්තෝබර් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් විමසා සිටියේය.

“රෑට රෑට වසන්ත මුදලිගේව මල්වාන, කඩවත, ගම්පහ, නවගමුව ප්‍රදේශවලට ගෙනිහිල්ලා මන් දන්නෑ මොනවද කරන්නේ. රෑට රෑට ඇයි? මේක දවල්ට කරන්න බැරි ” යැයි ඔහු විමසා සිටියේය.

මේ වන විට දින 50කට ආසන්න කාලයක් ඔහු ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් රඳවා සිටින්නේ තංගල්ල පැරණි බන්ධනාගරයේය.

වසන්ත මුදලිගේ ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මෙහෙයවයි.

විපක්ෂනායකවරයා අග්‍රාමාත්‍යවරයා වෙත පවසා සිටියේ මෙය විහිළුවක් සේ නොසලකන ලෙසයි.

“අවසානයේ මොකක් හරි සිද්ධියක් වෙලා හෝ සිද්ධියක් ඇති කරලා හෝ වසන්ත මුදලිගේව ඝාතනය කරලා කියයි මෙන්න පැනලා යන්න හැදුවා ඒක හින්ද වෙඩි තිබ්බා කියලා.” විපක්ෂ නායකවරයා කියා සිටියේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ බැසිල් රාජපක්ෂට අයත් බව කියූ මල්වානේ පිහිටි නිවසට ගෙනිහින් ඇතැයි කියන බරපතළ තත්ත්වය සියලු දෙනාට දැනගැනීම සඳහා තබන සටහනක් යනුවෙන්, වසන්ත මුදලිගේ ගේ සහෝදරයෙකු වන අනුර මුදලිගේ ෆේස්බුක් සටහනක් තබා තිබුණේ මෙසේය.

“මම (2022/10/03) තංගල්ල පැරණි නාවික හමුදා කදවුර තුළ දී අයියව බලන්න ගියා. අයියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා හැමෝටම කියන්න කිව්වා. ඒ වගේම මානසිකව වැටිලා නෑ. වට්ටන්න තවදුරටත් ආණ්ඩුව විවිධ මැදිහත්වීම් අඛණ්ඩව කරමින් සිටින බවත් පැවසුවා.”

“මල්වානේ සිද්ධිය සම්බන්ධව නිශ්චිත පිළිතුරක් අයියා ලබා දුන්නා. ඒ තමා අත්අඩංගුවට ගත් මුල් සතිය තුළ රාත්‍රී කාලවල මල්වාන බැසිල්ට අයත් යැයි පවසන ඉඩමට රැගෙන ගොස් තිබෙන බව.”

“තවත් නවගමුවේ ස්ථානයකටත්, කඩවත ප්‍රදේශයේ ස්ථානයකට හා ගම්පහ ප්‍රදේශයේ ස්ථානයකට වශයෙන් ස්ථාන කිහිපයකටත් මුහුණ වසා ඉතා රහසිගතව රැගෙන ගොස් ප්‍රශ්න කර තිබේ යැයි සඳහන් කළා.”

“කලකට පෙර සිදු වූවක් වුවත් ගිනිගත් නිවස හෝ වෙන යම් ස්ථානවලට වසන්ත රැගෙන ගොස් බාහිරෙන් සාක්ෂි ඔබ්බවා ඉතා උපක්‍රමශීලීව අධිකරණයතුළ දී ඒවා ජනතාව වෙනුවෙන් අරගල කළ ශිෂ්‍ය නායකයන්ට විරුද්ධව භාවිතා කිරීමට දරන උත්සාහයක් බව ඉතා පැහැදිලිය.”

“රනිල් ජනාධිපති ,ආරක්ෂක ලේකම් ,පොලිස්පති, හමුදාපති ,නාවුක හමුදාපති හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ ද සියලු දෙනාට මම කියනවා වසන්ත මුදලිගේ කියන්නේ ඔබල වන්දනා කළ ගෝඨාභය වගේ පැනල යන නායකයෙක් නෙවෙයි.”

“වෙඩි උණ්ඩ වලට බය එකෙකුත් නෙවෙයි. මරලා අයින් කරලා උඹලට අහක දාන්න පුළුවන් එකෙකුත් නෙවෙයි. ජනතාව ලක්ෂ ගණනක් වසන්ත වෙනුවෙන් පාරට ආව දවසට ආයෙත් දුවන්න පාරවල් මදිවෙයි. ඒ නිසා උඹලා උඹලාගේ පණට කොයිතරම් ආදරෙයිද, අන්න ඒ වගේ මුදලිගේ කැඳවුම්කරු ව උඹලා යටතේ ඉදිද්දී ආරක්ෂා කරපල්ලා……. පරණ නාට්‍ය කෑලි ඝාතන උප්පරවැට්ටි නොදා. කලින් නිදහස් චතුරස්‍රයේ නිළදාරියෙක් තුවක්කකු න් වෙඩි තියා ගත්තා වගේ වෙඩි තියන් වසන්ත මැරෙන්නේ නෑ. ජනතවගේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරියෙදිත් වඩා ශක්තිමත්ව අරගල කරනු ඇත.”

Related Articles