සිරිට ආසිරි

සිරිට ආසිරි

තිස් තුන් වසරක් යනු බොහෝ කාලයකි. තිස්තුන් වසරක් ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන පුවත්පතේ කතුවරයා වීම භාරදුර කාර්යයකි. පුර තිස්තුන් වසරක් මේ කාර්ය ඉටු කරමින් අඛණ්ඩව ලංකාදීප පත්‍ර කර්තෘත්වය හෙබවූ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ වැඩි දෙනාගේ හිත දිනාගත් කාර්ය ශුර මිනිසෙකි.

සිරි රණසිංහයන්ගේ මහතාගේ මාධ්‍ය මෙහෙවර ඇගයීමේ උළෙල 2023 දෙසැම්බර් 20 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ වෙන් විට ඔහු ගැන බොහෝ දේ කතා වෙනු ඇත.

මේ සටහන මධ්‍යවේදී රන්ජිත් ආනන්ද ජයසිංහ ගේ මතක යෙන් උකහා ගත උපුටනයන් කීපයකි.

“ඔහු මගේ මාධ්‍ය ගුරුවරයාය. ඇතැම් විට අපව අගය කරමින් ඇතැම් විට අපට දොස් කියමින් යා යුතු හරිමග පෙන්වා දුන් එතුමාගේ සදූපදේශයන් නොවන්නට මගේ මාධ්‍ය මෙහෙවර නිමා වී බොහෝ කල්ය.”

මාධ්‍ය කෞශල්‍යය

“ලංකාදීප ආරම්භක යුගයේ (ඩී.බී. ධනපාලයන් කතු පදවිය දරන විට) පුවත්පතේ උපරිම අලෙවිය සෑහෙන පමණ තිබුණද සිරි රණසිංහ යුගයේ ඉරිදා ලංකාදීපය පිටපත් 4,50,000ක් (හාරලක්ෂ පනස් දහසක්) දක්වා ඉහළ නැංවීම අප කතුවරයාගේ වාසනා සම්පත්තිය සහිත මාධ්‍ය කෞශල්‍යය මැනවින් විදහා දක්වන සාධකයකි. එසේම එතුමා ලංකාදීපය තුළින් දෙවැනි පරපුරේ කතුවරුන් ගණනාවක්ම නිර්මාණය කළෝය.. ආරියනන්ද දොඹගහවත්ත, තුෂාර ගුණරත්න සහ මමද(රන්ජිත් ආනන්ද ජයසිංහ ) එතුමාගේ දෙවැනි පරපුර නියෝජනය කරන බව සඳහන් කරනු වටී. ”

“සැලසුම් සහගත බව සහ නිදහස් මතධාරී බව ලංකාදීපයේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානම සාධකයකි. පුවතකට හෙඩිමක් (ශීර්ෂ පාඨයක්) දැමූ පසු එය කාටත් වැටහෙනවාදැයි දැනගැනීම පිණිස ඔහු කිහිප දෙනකුගෙන් මත විමසන අවස්ථා අනන්තවත් මා දැක තිබේ. අප කාර්යාලයේ ප්‍රකට කාර්යාල කාර්ය සහායක ධම්මිකගෙන් පවා ලංකාදීපයේ ප්‍රධාන පුවතට දැමූ හෙඩිම තේරෙනවාදැයි අසන්නට පවා එතුමා විවෘතය. නිහතමානීය.”

“සිරි රණසිංහයන් තමන්ගේ මාධ්‍යවේදීන්ට මාධ්‍ය කෞශල්‍යය . තමන් කළ වරද තමන්ටම අවබෝධ කරවන්නට ඔහුට හොඳ හැකියාවක් තිබේ. එක් දිනක් ලංකාදීපයේ දිනපතා පත්තර තබා ඇති පත්තර ලෑල්ල අසලට ගිය රණසිංහ මහතාට ලංකාදීප පුවත්පතේ කිසියම් දෝෂයක් නිසා පළ වූ වැරදි ශීර්ෂපාඨයක් සහිත පුවතක් දක්නට ලැබුණි. එහි සඳහන් වූයේ මෙසේය. මැරකමට ප්‍රසිද්ධ ඇමැතිවරයකුගේ නම උඩින් යොදා තිබුණි. අපි ඔහුට අසවලා යැයි කියමු.

”මැරයෝ පිරිසක් සමඟ අසවලා අසවල් ආයතනයට කඩා වැදී නිලධාරීන්ට පහර දෙයි. සේවකයෝ ද පෙරළා පහර දෙයි.” යනුවෙනි. මෙහි වරදක් තිබේද? එය කුමක්ද? කියා ඒ අවට සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කැඳවූ රණසිංහ මහතා ප්‍රශ්න කළේය. එයට විවිධ මාධ්‍යවේදීන් ලබා දුන් පිළිතුරු මෙසේ විය.

”මේකෙ න ණ ල ළ වැරදියි සර්.”
”හෙඩිම දිග වැඩියි සර්”

”සම්පූර්ණ කතාවම හෙඩිමෙ දාල” ආදී වශයෙන් මාධ්‍යවේදීන් පිළිතුරු දෙද්දී කතුවරයා ප්‍රශ්න කළේ මේකෙ වෙනත් දෝෂයක් නැද්ද කියාය. අනතුරුව එතැන සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුට කතා කළ රණසිංහ මහතා ඔහුගෙන් ද මේ ගැන ඇසීය. පුවත දෙස නිරීක්ෂණාත්මකව වඩා ගැඹුරෙන් බැලූ මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා පැවසූයේ

”සර් මෙතැන වැරුද්ද අහවලාගෙනෙ. එයා මොකටද මේ ආයතනයට මැර පිරිසක් එක්ක ගිහින් පහර දුන්නෙ. මට පෙනෙන්නේ ඒකයි වැරුද්ද”

මේ ජ්‍යෙෂ්ඨයාගේ පිළිතුරෙන් පසු හිසේ අත ගසාගත් රණසිංහ මහතා මහා හඬින් සිනා සී ”ඒකත් වැරදි තමයි. නමුත් මේකෙ ඊට වඩා වැරුද්දක් තියෙනවා” කියා මෙම ශීර්ෂ පාඨයේ තිබූ උක්ත ආඛ්‍යාත වැරදි පෙන්වා දුන්නේය. කතුවරයාගේ විග්‍රහයෙන් පසු මාධ්‍යවේදීන් මුහුණට මුහුණ බලාගත්තා මිස කිසිවක් කීවේ නැත.”

එකල නීතිපතිවරුන් අගවිනිසුරුවරුන් හා ඉහළ අධිකරණවල විනිසුරුවරුන් මෙන්ම මහ බැංකුවේ අධිපතිවරුන් පෞද්ගලිකව විශේෂයෙන් සිංහල මාධ්‍ය පුවත්පත්වලට සාකච්ඡා ලබාදුන්නේ නැත. එම පිළිවෙත වෙනස් කොට ලංකාදීපයට එම සාකච්ඡා සහ ලිපි කෙසේ හෝ ලබාගත යුතු යැයි රණසිංහ මහතා මට නියම කළේය. ඒ අනුව එතෙක් මාධ්‍යයට කතා නොකළ පාරින්ද රණසිංහ, සරත් එන්. සිල්වා හා අශෝක ද සිල්වා වැනි අගවිනිසුරුවරුන්ද රාජා වනසුන්දර, කේ.එම්.එම්.බී. කුලතුංග, නිහාල් ජයසිංහ ආදී ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සම්මුඛ සාකච්ඡා රාශියක් ලබාගතිමි. ශිබ්ලි අෂීස්, සී.ආර්. ද සිල්වා, පාලිත ප්‍රනාන්දු ආදී නීතිපතිවරුන් ගණනාවක් ලංකාදීපයට කැඳවාගෙන ආවෙමි.”

“අපි අනන්තවත් ඔහුගෙන් බැණුම් අසා ඇත්තෙමු. එහෙත් ඒ සියල්ල ඔහු ගැන අප තුළ පැවති ගෞරවයට හානි කළේ නැත.”

“පෙරහැර දකින්නේ එහි ගමන් කරන්නන් නොව එය නරඹන්නන් බව ප්‍රකට කියමනකි. සිරි රණසිංහයන්ගේ මාධ්‍ය මෙහෙවර ගැන කිවයුත්තේද ඒ ටිකමය” තවත් වසර දෙකකින් සිරි රණසිංහයන් තම මාධ්‍ය ජීවිතයේ හැට වසරක් සපුරනු ඇත. චිරන් ජයතු සිරි රණසිංහයනි.

Related Articles