‘හූති’ කැරැල්ලෙන් ලංකාවත් අමාරුවේ

‘හූති’ කැරැල්ලෙන් ලංකාවත් අමාරුවේ

‘හූති’ කැරැල්ලෙන් ලංකාවත් අමාරුවේ

රතු මුහුද ආශ්‍රිතව සිදු කෙරෙන නැව් ගමනාගමනයට ඇතිව තිබෙන බාධා හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර යාත්‍රාවක් එහි යවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කොට පැය 24ක් ගතවීමටත් පෙර අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකාවක් පැහැර ගැනීමට මුහුදු මංකොල්ලකරුවන් උත්සහ දරන ලදී.

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු MV Lila Norfolk නෞකාවේ ඉන්දීය ජාතිකයින් 15 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 21ක් දෙනෙකු සිටි අතර එම නෞකාව සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවීම වළක්වා ගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත් විය.

මේ පිළිබඳව BBC මධ්‍ය කළ විමසීම් වලින් තෝරා ගත් උපුටන කීපයක් :

 

ශ්‍රී ලංකා ජනපතිගේ ප්‍රතිචාරය
කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පැවසුවේ රතු මුහුදේ ඇතිවී තිබෙන තත්ත්වය නිසා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් එහි යැවීමට එකඟ වී ඇති බවය.

“දැනටමත් රතු මුහුදේ හූති කණ්ඩායම් නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නිසා නැව් ගමනා ගමනය නැවතී තිබෙනවා. ”

“මෙම නැව් රතු මුහුදෙන් එන්නේ නැතිව දකුණු අප්‍රිකාව වටේ ගමන් කළහොත් එයින් බඩු මිල ඉහළ යනවා. ”

“එම නිසා ‘හූති’ වැඩකටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට අප එකඟ වී තිබෙනවා.”

“සාමාන්‍යයෙන් නාවික හමුදාවේ නැවක් එහේ තියන්න සති දෙකකට මිලියන 250ක් වගේ වියදමක් දරන්න වෙනවා.” යැයි ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවට බලපෑමක් තිබේද ?
පවතින තත්ත්වය හමුවේ භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධාන නෞකා සමාගම් රැසක් රතු මුහුද ඔස්සේ යාත්‍රා කිරීම අත්හිටුවා ඇති පසුබිමක නෞකා ගමනාගමනය සිදුවන ආකාරය ගැන බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.

MSC ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක චන්දිම හුලංගමුව ඊට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

“මේක අපිටත් බලපාලා තියෙන්නේ. යුරෝපයට සහ නැගෙනහිර ඇමෙරිකාව බලා යන අපේ නෞකාවල ගමන් මාර්ගයන් වෙනස් කළා.දැන් ඒ නෞකා අප්‍රිකාව හරහයි යාත්‍රා කරන්නේ. ”

“මේකේ බලපෑම තවත් මාසයක් දෙකක් විතර යද්දී හැමෝටම බලාගන්න පුළුවන්. යුරෝපය වගේම ඇමෙරිකාවේ කාගෝ භාණ්ඩ එහෙම පරක්කු වෙයි.”

මොකද මේ නෞකාවන් යන ගමනාන්ත දිහා බැලුවම යුරෝපයට යන්න අමතර දින 10-11ක් වගේම ඇමෙරිකාවට යන්න දින 12ක වගේ කාලයක් ගත වෙනවා.”

“එතකොට අපනයනකරුවන්ගේ භාණ්ඩ අදාළ වරායන්වලට යන්න දින 10-12ක් අතර ප්‍රමාද වෙනවා. ඒ වගේම ඒ රටවල් වලින් ආපහු භාණ්ඩ ආනයනය කිරීමේදීද ප්‍රමාදයක් ඇති වෙනවා.” ඔහු පැවසුවේය.

මේ අතර සතිපතා භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවන්ට උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සිය සේවාවන් සතිපතා පවත්වාගෙන යෑම සඳහා අමතර නෞකා යෙදවීමේ අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇති බව MSC ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

“නැව් සමාගමක් සතිපතා පවත්වාගෙන යන භාණ්ඩ ප්‍රවාහන සේවා සිදුකරගෙන යෑමේදී අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව “ට්‍රාන්සිට් ටයිම්” එක (එක වරායක සිට තවත් වරායකට යාත්‍රා කිරීමට යන කාලය) වැඩිවෙලා තියෙන නිසා දවස් 10-12ත් අතර කාලයකින්.”

“එතකොට සතිපතා නෞකා සේවාවක් පවත්වාගෙන යන්න තවත් නැව් යොදවන්න වෙලා තියෙනවා. ”

“භාණ්ඩ ප්‍රවාහන නෞකා අප්‍රිකාව හරහා යන නිසා ඇතැම් අවස්ථාවලදී ඒ වරායන් බහාලුම් හුවමාරු කර ගැනීමේ වරායන් ලෙස යොදා ගන්න සිදුවෙන අවස්ථා එන්න පුලුවන්.”

“එතකොට ඒ වරායන් කාර්ය බහුල වෙද්දී මේ හිස් බහලුම් ලැබීමේ ප්‍රමාදයක් ඇතිවෙන්න පුලුවන්. එතකොට තවත් මාසයක් වගේ යද්දී කොවිඩ් කාලයේ ඇතිවුණා වගේ බහලුම් හිඟයක් වුනත් ඇතිවෙන්නත් පුලුවන් මේ තත්ත්වය දිගටම පැවතුනොත්.”

“මේ නිසා නෞකාවල ගාස්තු ඉහළ යන්න පුලුවන්. ඒක මුළු ලෝකයටම බලපාන තත්ත්වයක්.” ඔහු කියා සිටියේය.

රතු මුහුදේ යාත්‍රා කරන වෙළඳ නෞකාවල ආරක්ෂාව සඳහා මෙරට නාවික හමුදා යාත්‍රාවක් යෙදවීම වරදක් නොවන බව MSC ලංකා පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක චන්දිම හුලංගමුව පැවසීය.

“ඒකට හැම රටකින්ම වගේ උදවු කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ලංකාවේ නේවි එක විතරක් නෙමෙයි ඇමෙරිකාව, ඉන්දියාව වැනි රටවල් දැනටමත් ඔවුන්ගේ නාවික හමුදා යාත්‍රා රතු මුහුදට යවලා තියෙනවා. ”

“ලංකාවත් මෙතනදී උදවු කරන්න එන එක හොඳයි.”. ඔහු කියා සිටියේය.

මේ අතර ජාත්‍යන්තර බහාලුම් ප්‍රවාහනය කරන නෞකාවක සේවය කරන නම හෙළි කිරීමට අකමැති වූ ලාංකික නාවිකයෙකු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ අප්‍රිකාව හරහා ගමන් කිරීමේදී මුහුදු මංකොල්ල කරුවන්ගේ තර්ජන එල්ල වීමේ අවදානමක් පවතින බවයි.

ඔහු පැවසුවේ අප්‍රිකාව හරහා යුරෝපය බලා යාත්‍රා කිරීමේදී විශාල වියදමක් මෙන්ම කාලයක්ද ගතවන බවය.

එමෙන්ම අප්‍රිකානු මුහුදු මංකොල්ලකරුවන් ගෙන් ආරක්ෂා වීමට ගොඩබිම සිට මුහුදු සැතපුම් 300ක් පමණ ඈතින් යාත්‍රා කිරීමට සිදුවී තිබෙන බව ද ඔහු පැවසුවේය.

යුරෝපයට සහ නැගෙනහිර ඇමෙරිකාව බලා යන භාණ්ඩ ප්‍රවාහන නෞකා අප්‍රිකාව හරහා යාත්‍රා කිරීම නිසා කොළඹ වරාය භාණ්ඩ හුවමාරු කිරීමේ ස්ථානයක් බවට වැඩි වශයෙන් භාවිතා කිරීමේ ප්‍රවණතාවක් පවතින බව ද ඔහු පැවසුවේය.

“මේ තත්ත්වය කොළඹ වරායට හොඳ අවස්ථාවක් කර ගන්න පුලුවන්. “කන්ටේනර් රිලේ පෝට්” එකක් හැටියට කොළඹ වරාය භාවිතයට ගන්න ඒ නෞකාවලට.”

“නමුත් ඒ වුනාට අපේ කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත දෙක තවමත් සංවර්ධනය කරමින් පවතින නිසා, අපිට තව විශාල අමතර බහළුම් ප්‍රමාණයක් මෙහෙයවීම බලාපොරොත්තු වෙන්න බැහැ.” ඔහු කියා සිටියේය.

පවතින තත්ත්වය හමුවේ භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධාන නෞකා සමාගම් රැසක් රතු මුහුද ඔස්සේ යාත්‍රා කිරීම අත්හිටුවා ඇති පසුබිමක නෞකා ගමනාගමනය සිදුවන ආකාරය ගැන බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.

රට තුළ භාණ්ඩ මිල ඉහළ යයි ද ?

රතු මුහුදේ යාත්‍රා කරන වෙළඳ නෞකාවලට යේමනයේ ‘හූති’ කැරලිකරුවන් ගෙන් එල්ලවන තර්ජනයන් හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා එල්ල විය බලපෑම කුමක්දැයි බීබීසී සිංහල සොයා බැලුවෙමු.

එහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී. ඉලමනාදන් බීබීසී සිංහල සේවයට පැවසුවේ පවතින තත්ත්වය හමුවේ භාණ්ඩ මිල ඉහළ යෑම සිදුවීමේ හැකියාවක් පවතින බවයි.

“මිල ගණන් වැඩි වෙනවා. මොකද නැව් වලට රතු මුහුද හරහා එන්න බැරි නිසා ගොඩක් ඒවා වෙන මාර්ගවලට ඩයිවර්ට් කරලා තියෙන්නේ. ඒ නිසා අමතරව යන වියදම් එයාලා ඇඩ් කරනවා. එතකොට බඩු වල ගණන් වැඩිවෙනවා. ඒක අපි ගෙවන්න වෙනවා.”

“සාමාන්‍යයෙන් රතු මුහුද හරහා රටට එන ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්නේ සීනි, ධාන්‍ය වර්ග සහ පරිප්පු වගේ දේවල්. ”

“අල සහ ළූණු වර්ග හැර අනෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග දැනට අපිට මාසයකට අවශ්‍ය තොග තිබෙනවා.” ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුදානම:

රතු මුහුදේ මුර සේවය සඳහා පිටත් වීමට අවශ්‍ය නියෝග ලැබෙන ඕනෑම මොහොතක ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් එම මුහුදු ප්‍රදේශය බලා යාත්‍රා කිරීමට සුදානමින් සිටින බව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂක කැප්ටන් ගයාන් වික්‍රමසුරිය පැවසීය.

“අපට ඕනෑම වෙලාවක ඒ මුහුදු ප්‍රදේශය බලා පිටත් කර හරින්න හැකියාව තිබෙනවා. ඒ ගැන කිසිම ගැටළුවක් නැහැ.”

“මොකද දැනටත් අපි මාසයක කාලයක් සඳහා මුර සංචාරයන් සඳහා අපේ නෞකාවන් යවනවා. ඒ යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ වගේම ලංකාවේ දකුණු දිග මුහුදේ ආවේක්ෂණ කටයුතු වලට යොදවලා තියෙන්නේ. අපිට රතු මුහුදේ කියල විශේෂත්වයක් නැහැ. අපිට ඒ හැකියාව තියෙනවා.”

“නමුත් අපි කවද්ද යන්නේ කියලා තවම තීරණයක් නැහැ. දිනයක් තීරණය කරපුවම අපි යන්න සුදානම්. ”

“නමුත් අපි එතකම් මුලික අධ්‍යයන කටයුතු සිද්ධ කරනවා. ඉදිරියේදී කරන්නේ මොකක්ද කියලා.” නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.

මුර සංචාරය සඳහා රතු මුහුදට යැවීමට නියමිත ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවකට එහිදී ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමේ හැකියාව පවතින බව කපිතාන් ගයාන් වික්‍රමසුරිය පැවසුවේය.

“දැනට වුනත් නාවික හමුදාව මුර සංචාරයක් සඳහා යන විට ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න සුදානම්. ලංකාවේ හෝ වෙනත් මුහුදක වුනත් එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සුදානම් වෙලා ඉන්නේ. එහෙම ගැටළුවක් නැහැ.”

“එල්.ටි.ටි.ඊ. සංවිධානය එක්ක කරපු යුද්ධය වගේ නෙමෙයි රතු මුහුදේ මුර සංචාරයකට ගියොත් අපිට වෙන අභියෝග තියෙනවා. ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි හඳුනාගෙන ඒ ගැන පුහුණු වෙලා මනා සුදානමකින් තමයි අපි ඒ දේට යොමු වෙන්නේ.” ඔහු කියා සිටියේය.

රතු මුහුදේ මුර සංචාරය සඳහා පිටත් කර යැවීමට හැකි නාවික හමුදාව සතුව තිබෙන යාත්‍රා සංඛ්‍යාව කොපමණක්දැයි මෙහිදී බීබීසී සිංහල සේවය නගන ලද පැනයට නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් ලබා දුන්නේ මෙවන් පිළිතුරකි .

“දැනට අපිට ඇඩ්වාන්ස් AOVP කැටගරි එකේ නෞකා 05ක් තියෙනවා. ඒ නෞකාවන් රතු මුහුදේ මුර සංචාරයන් සඳහා යොදවන්න හැකියාව තිබෙනවා.” ඔහු කියා සිටියේය.

‘රාජ්‍ය නායකයින් කළ යුත්තේ තනි තනිව නැතුව රාජතාන්ත්‍රික මට්ටමින් එකමුතුව වැඩ කිරීම ‘
රතු මුහුදේ යාත්‍රා කරන වෙළඳ නෞකාවන්ට ආරක්ෂාව ලබා දීම සඳහා කටයුතු කිරීම රටවල් තනි තනිව නොව සාමුහිකව එකතු වී කටයුතු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් රතු මුහුදට යැවීම පවතින ආර්ථික තත්ත්වය මත එය රටට බරක් වන බවයි.

“මේ වගේ වෙලාවක තනි තනි රටවල් තමන්ගේ ශක්තිය අනුව නාවික හමුදාවන් මේ වගේ තැන් වලට යවලා ආරක්ෂාවක් සැපයීම නෙවෙයි ඇත්තටම.”

“සිදුකළ යුත්තේ ලෝකයේ රටවල් ඒකාබද්ධ වෙලා ඔවුන් විසින් පොදු සැලැස්මක් ඔස්සේ තමයි මේක කළමනාකරණය කර ගන්න ඕන.”

“මේ වෙලාවේ අපේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අපි නාවික හමුදාව එහෙට යවලා විශාල වියදමක් නිර්මාණය වෙනවා නම් ඒක රටේ ආර්ථිකයට විශාල බරක්.”

“රාජ්‍ය නායකයින් කළ යුත්තේ තනි තනිව නැතුව රාජතාන්ත්‍රික මට්ටමින් එකමුතුව වැඩ කිරීමයි.” මහාචාර්යවරයා පැවසීය.

Related Articles