රූමිගේ ලිංගික උපමා කතා සහ ඉස්ලාම් සාහිත්‍යය – ලියනගේ අමරකීර්ති….

0
43

අප රට මුස්ලිම් ලේඛකයන් ගිරේට අහුවුණ පුවක් ගෙඩි වැනිය. ඔවුන්ගේ රචනාවල යම් හෝ සටන්කාමී ස්වරයක් තිබුණහොත් ඔවුහු අන්තවාදීන් ලෙස සේ සලකා රාජ්‍යයේ අත්අඩංගුවට ගැනෙති. එපමණක් නොව අන්තවාදී අදහස් යැයි වැරදියට වටහා ගැනුණද ඔවුන්ට උරුම අත්අඩංගුවය. ඒ රාජ්‍යය සහ මහ ජාති කේන්ද්‍රවාදයේ දෘෂ්ටියයි. අනෙක් අතට, මුස්ලිම් ප්‍රජාව තුළම පවා ලිබරල් හෝ රැඩිකල් අදහස් ප්‍රකාශ කිරීම පහසු නොවේ. එය ලෝකය පුරාම මුස්ලිම් ලේඛකයන්ට ඇති ප්‍රශ්නයකි. සල්මාන් රුෂ්ඩි, තස්ලිමා නස්රින් යනු ප්‍රකට නිදර්ශන දෙකක් පමණි. ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ප්‍රතිසංස්කරණවාදී අදහස් ප්‍රකාශ කිරීම උදහසට හේතුවිය හැකි බව කරුණු දන්නා අය කියති.

එසේම මේ දෙපැත්තෙන්ම තර්ජන නිසා ඉතා සාමාන්‍ය ලේඛකයෝ සාහිත්‍ය වීරයන් බවට පත් වෙති. සල්මාන් රුෂ්ඩි වැනි කෙනෙකු නම් ඔහුට එල්ල වූ අන්තවාදී තර්ජන නිසාම සාහිත්‍ය වීරයෙක් නොවීය. සැටනික් වර්සස් කෘතියට පෙරත්, ඉන් පසුත් අග්‍රගණ්‍ය නවකතා කිහිපයක් ඔහු ලිව්වේය.

එහෙත් බොහෝ අවස්ථාවල අන්තවාදීන්ගේ මෝඩ ක්‍රියා නිසා සාහිත්යික වශයෙන් සාමාන්‍ය ලේඛකයෝ අසාමාන්‍ය සාහිත්‍ය වීරයෝ බවට පත් වෙති. එය ඒ තරුණ ලේඛක ලේඛිකාවන්ටද කරන හානියකි. තමන්ගේ සාහිත්යික, සංස්කෘතික, දේශපාලනික අදහස් පිරිපහදු වී මෝරන්නට පෙර හිරේ යෑමෙන් අත්වෙන වීරත්වයේ කටු ඔටුන්න ඉතා පරිස්සමින් බාර ගැනීමේ විවේක බුද්ධිය ඒ අයට නැතුව ගියහොත් ඔවුන්ගේ සාහිත්‍ය ජීවිතයද එතනින්ම විනාශ වේ. එය දෙවෙනි කාරණයකි.

අදහස් ප්‍රකාශ කිරීම නිසා ලේඛකයන් හිරේ දැමීම අශිෂ්ට ක්‍රියාවකි. ඔවුන් ලියූ දේ ගැන සාවද්‍ය අර්ථකථන දී හිරේ දැමීම අතිශයින්ම අශිෂ්ටය; නීතිවිරෝධීය; ලජ්ජාසහගතය.

මනෝ විද්‍යා විවරණ

දැන් සිරගත වී සිටින අහනාෆ් ජසීම්ට අත්අඩංගුවේදී නොයෙක් වධ හිංසා විඳීමට සිදු වී තිබේ. ඔහු රඳවා තබා ගැනීමට භාවිත කෙරෙන විහිළු සහගත තර්ක ගණනක් තිබේ. වඩාත් විහිළු සහගත කාරණය ඔහුගේ කවි තරුණ අයගේ මනස් දූෂණයට හේතුවන්නේ යැයි මනෝවිද්‍යාඥයෙකු විසින් දෙන ලද සහතිකයයි. ඒ මනෝවිද්‍යාඥයා දෙමළ බසින් ජසීම්ගේ කවි කියවූ මුස්ලිම් ජාතික හෝ දෙමළ ජාතික කෙනෙකුදැයි මා දන්නේ නැත. එහෙත් ලංකාවේ මනෝවිද්‍යාව අධ්‍යයනය කරන්නට ඇති කිසිම ආයතනයක සාහිත්යික විවරණය පිළිබඳ පුහුණුවක් ලබාදෙතියි මම නොසිතමි. මනෝ විද්‍යාව පාඨමාලා උගන්වන විශ්වවිද්‍යාලවල සාහිත්‍ය කෘතිවල මනෝවිද්‍යාත්මක මානය පිළිබඳ එකම පාඩමක්වත් උගන්වතියිද මම නොසිතමි. අනෙක් රටවලින් නම් මනෝවිද්‍යාඥයන් විසින් ලියන ලද අගනා සාහිත්‍ය විචාරමය රචනා නිතර පළ වේ. අප රට මනෝ විද්‍යාඥයන් සාහිත්‍ය කෘතියක් හෝ කලා නිර්මාණයක් ගැන පත්තර ලිපියක්වත් ලියනු මා දැක නැත. ඒ නිසා ජසීම්ගේ කවිවල මනෝවිද්‍යා බලපෑම ගැන ලියූ කෙනාගේ සාහිත්‍ය විශ්ලේෂක සුදුසුකම් පවා ඉතා සැක සහිතය.
රූමිගේ ලිංගික තේමා

මෙම රචනයෙන් මම වෙනත් ප්‍රශ්නයක් අසන්නට අසමි. 13 වැනි සියවසේදී රූමි ලියූ ආකාරයෙන් අද මුස්ලිම් ලේඛකයෙකු ලිව්වහොත් කුමක් සිදුවේද? අර වැනි මනෝවිද්‍යාඥ සහතික මත රාජ්‍ය සිරගෙදරක් උරුමවන්නට පුළුවන. එසේම මුස්ලිම් ප්‍රජාව තුළින් පිටුවහල් කරනු ලැබීමටද පුළුවන.

රූමි යනු කවුදැයි විස්තර කරන්නට ඉඩහසර වැය නොකර අපි කෙළින්ම ඔහුගේ නිර්මාණයක් වෙත යමු. රූමි කවි සිය දහස් ගණනක් ලිව්වේය. ඇතැම් කවිවල කතාමය ස්වරූපයක් ඇත. ඇතැම් කවි කෙටි දෙපද කවිය. මනුෂ්‍ය ලෝකයේ සියලු තතු ගැන අවංකව ලියූ ඔහු දේවත්වය සෙවූයේ සියලු මනුෂ්‍යමය ජීවන තතු තුළමය. ඒ නිසා ලිංගිකත්වය ගැන ඔහු ලියූ ඇතැම් කවි කතා බෞද්ධ ජාතක කතා වැනිය.

මේ එක කතාවකි. එය ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇත්තේ Importance of Gourd Crafting යන නමිනි. එහි එක්තරා ගෘහ සේවිකාවක් සිටියි. ඇය වැඩ කරන්නේ ධනවත් පවුලකය. ඇය කාටත් හොර රහසේ පිරිමියෙකු කරන ලිංගික ක්‍රියාව කිරීමට බූරුවෙකු පුහුණු කරගත්තාය. බූරුවාට ඉතා දිග පුරුෂ ලිංගයක් ඇත. එය සම්පූර්ණයෙන් ඇගේ යෝනි මාර්ගයට ඇතුළු වුවහොත් ඇයට සිදුවන්නේ කුමක්දැයි ඇය දනියි. ඒ නිසා ඇය කළේ ලබු ගෙඩියක් හෝ පුහුල් ගෙඩියක් වැනි දෙයක් ගෙන එය සුදුසු ආකාරය සිදුරු කර බූරුවා සහ තමා අතර ආරක්ෂා වැල්වයක් සේ භාවිත කිරීමයි. බූරුවාගේ පුරුෂ ලිංගය පුහුල් ගෙඩියේ සිදුර ඔස්සේ පැමිණ ඇගේ යෝනියට ඇතුළු වේ. ඇය හොඳින් කල්පනා කර පුහුල් ගෙඩියේ ප්‍රමාණය ගණන් බලා බූරු ලිංගය ආරක්ෂා සහිතවද ඇයට ප්‍රීතිය ඇති වන ලෙසද යෝනියට ඇතුළු වන සේ සකසා ගත්තාය. එවන් ආරක්ෂාවක් සහ ප්‍රීතියක් ඇති වන්නේ පුහුල් ගෙඩිය සිදුරු කරන කලාව අනුවය. පුටුවක වාඩි වී පුහුල් ගෙඩිය ඔස්සේ බූරුවාගේ පුරුෂ ලිංගය ඒ ඔස්සේ පහසුවෙන් ගමන් කරන ඉරියව්වද ඇය පුහුණු වූවාය. බූරුවාටද එය පුහුණු කළාය.

රූමි එය මෙසේ විස්තර කරයි:

“ඇය ප්‍රීතියෙන් බබලා ආවාය, එහෙත් බූරුවා දින දිනම කෙට්ටු විය. වෙහෙස පාටින් යුක්ත විය.”

සේවිකාව ප්‍රීතියෙන් පැහැපත්ව දවසරින බවත්, බූරුවා දින දින කෙට්ටු වන බවත් දකින ස්වාමි දුව මේ මොකදැයි විමසිලිමත් වූවාය. දවසක සේවිකාවගේ කාමරයේ fදාරෙහි පැල්මක් අස්සෙන් බැලූ ඇය බූරුවා සහ සේවිකාවගේ රමණ ක්‍රියාව දැක්කාය.

ඇය “බූරුවාගේ අසිරිමත් ලිංගයත්, බූරුවා යට වැතිර සිටින සේවිකාවගේ ඉමහත් ආනන්දයත් දැක්කා යැයි” රූමි අපට කියයි.

ස්වාමි දුවටත් මේ ප්‍රීතිය විඳින්නට ආසා සිතෙයි. ඇය තම සේවිකාවට දීර්ඝ කාලයක් ගත වෙන වැඩ මාලාවක් කරගෙන එන්නට ගෙයින් පිටතට යවයි.

සිදුවන්නට යන්නේ කුමක්දැයි සේවිකාව අනුමාන කරන නමුත් ඇය පිටව යයි.

මේ වැඩේට විශේෂඥතාව ඇති කෙනා පිටකර යැවීමෙන් තම ස්වාමිදුව ජීවිතේ අනතුරේ හෙළා ගන්නා බව සේවිකාව සිතයි. එසේ සිතමින්ම නියම කළ ගමන යයි.

මේ අමුතු රමණය පිළිබඳ ආසාවෙන් දැවෙන ස්වාමි දුව බූරුවා කාමරයට ගෙන fදාර තදින් වැසුවාය.

“කවුරුවත් අහළපහළක නැතුවම මට ප්‍රීතියෙන් කෑ ගහන්න පුළුවන්” ඇය සිතයි. ඒ රූමි අපට එය කියන හැටිය.

ඔහු මෙසේද කියයි:

“ආසා අපේක්ෂාවෙන් ඇයගෙ හිසද කැරකෙයි, ඇගේ යෝනිය බබලා නැගී නයිටින්ගේල් කුරුල්ලෙකු සේ ගයයි”

ඇය පුටුවේ වාඩි වී බූරුවාගේ ලිංගය ඇගේ යෝනිය වෙත මෙහෙය වූවාය. එවිටම ඇගේ කම් ගින්න ඇවිලේ. බූරුවා ලිංගය තද කරයි. ඒ අඩි දෙකකට වඩා දිග පුරුෂ ලිංගය ඇගේ යෝනිය ඉරාගෙන ගොස් අතුණු බහන් කරාද වදියි. වදනකුදු නොකියා ඇය මිය යයි.

කාමරය ලේ විලක් වෙයි.

මේ දක්වා සිය කවි කතාව සරාගී බසින් විස්තර කරන රූමි කතාවේ පණිවිඩය උපදේශයක් බවට පෙරළන්නට කවියේ අවසන් කොටස ගත කරයි. කුරානයද උපුටා දක්වයි.

“ඔබේ ජීවිතය ඔබේ සත්ත්වමය-ආත්මය වෙනුවෙන් පරිත්‍යාග නොකරන්න.” ඔහු අපට කියයි. ඒ ස්වාමි දුවගේ සත්ත්වමය ආත්මය යනු ඒ අමුතු ලිංගික ප්‍රීතිය වෙනුවෙන් ඈ තුළ වූ ආසාව විය හැකිය.

එහෙත් ඉක්බිති ඔහු ඒ ආගමික උපදේශය ලෞකික මිනිස් ජීවිතයේ සැබෑව වෙත ගෙන එන්නට පටන් ගනියි.

“ඇය සිහියේ තබාගෙන ඔබේ සමබරතාව රැක ගන්න.”

මේ සමබරතාව යනු කුමක්ද? එවැනි අමුතු ලිංගික ආස්වාදයකට ඇති ආසාව අත්හැරිය යුතු බවද ඔහු කියන්නේ? නැත. රූමි ඔහුගේ අනික් කවිවලදීවත් එසේ කියන්නේ නැත. අවසන් ආගමික උපදේශ දීම රූමිගේ සිරිත නොවේ. අමුතු ආකාරයේ ලිංගික ප්‍රීතිය හෝ අනෙක් ආකාර ප්‍රීතින් පිළිබඳ ආශාව මනුෂ්‍ය ගතියක් බව රූමි දනියි. යම් මධ්‍යස්ථභාවයකින් යුතුව ලෞකික ජීවන ප්‍රීතිය විඳීම වෙනුවෙන් රූමි පෙනී සිටියි.

කවියෙහි අවසානයේදී අර සේවිකාව ගෙදර එයි. තම ස්වාමි දුවට අත්වී ඇති ඉරණම ඇය දකියි. ඇය මෙසේ කියයි:

“ඔබතුමී මං වින්ද ප්‍රීතිය දැක්කා. ඒත් ඒ ප්‍රීතියට සීමාවක් යොදපු පුහුල් ගෙඩිය ඔබතුමී දැක්කෙ නෑ.

ගුරුවරයා සියලු ශිල්පය උගන්වන්නට ඔබතුමී වැඩපොළක් දැම්මා.”

ලෞකික ප්‍රීතිය

රූමි මේ කවිය අවසන් කරන්නේ මැදුම් පිළිවෙතක් සහිතව, අදාළ ශිල්පක්‍රම භාවිත කොට ලෞකික ප්‍රීතිය විඳීම අනුමත කරමිනි. ඉන් අදහස් වන්නේ පුහුල් ගෙඩි ප්‍රයෝගය යොදා මනුෂ්‍ය ස්ත්‍රීන් බූරුවන් සමග රමණය කිරීම වරදක් නැති බව නොවේ. ඒ බූරුවා සහ පුහුල් ගෙඩිය පිළිබඳ කතාව තම පණිවිඩය ගෙන යන්නට රූමි නම් කතාකාරයා භාවිත කළ ප්‍රයෝගයයි. ඔහු එවන් ආඛ්‍යානමය උපමා නිතර භාවිත කරයි.

රූමි මනුෂ්‍ය ලිංගිකත්වය නිසා මිනිසා විඳින ප්‍රීතිය නිරන්තරයෙන් අගය කළේය. එවන් තවත් කවි ගැන මට තවත් ලිපියක ලිවිය හැකිය.

මේ කතාව තුළ එකල ඒ ධනවත් මන්දිර තුළ හුදෙකලා වූ ස්වාමි දූවරුන්ට සහ සේවිකාවන්ට උරුම වී ඇති ඛේදජනක ලෞකික ජීවිතය ගැන රූමිගේ විරෝධය සටහන් වන්නේ යැයිද කිව හැකිය.

මේ සංකීර්ණ කවිය අහනාෆ් ජසීම්ගේ කවි විනිශ්චය කළ රිජ්වේ ආර්යා රෝහලේ මනෝවෛද්‍යවරයාට කියවන්නට දුනහොත් කුමක් කියනු ඇතිද? එපමණක් නොව වර්තමාන මුස්ලිම් ලේඛකයෙකු මෙවැනි සාහිත්යික රචනාක් කළහොත් ගතානුගතික මුස්ලිම් ආගමික සංස්ථාව සහ දැඩි ආගමික මතධාරී මුස්ලිම් සමාජය ඒ ලේඛකයාට කවර ප්‍රතිචාරයක් දක්වනු ඇතිද? 13 වෙනි සියවසේ මුලදී උපන් රූමි අපට වඩා වැඩි ප්‍රකාශන නිදහසක් භුක්ති වින්දේ නොවේද? අහනාෆ් ජසීම් වැනි තරුණ ලේඛකයන් සැබෑ සාහිත්යික නිර්මාණ කිරීම ඉගෙනීම කැමති නම් රූමි වැනි අයගේ කෘති කියවිය යුතු නොවේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here