රනිල් දැඩි පියවරකට මුල  පුරයි….

රනිල් දැඩි පියවරකට මුල පුරයි….

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි පිළිවෙතක් කරා යොමු වෙමින් සිටින බව පෙනේ.

පොදු දේපල වලට හානි කළ පනස් දෙනෙකුගේ ලැයිස්තුවක් මේ වන විට සකස් කොට ඇති අතර මේ අය පිළිබඳව සාක්ෂි විමර්ශනය ආරම්භ වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික අවභාවිතාවෙන් පීඩාවට පත්වූ පිරිස් වලට විරෝධය පල කිරීමේ අයිතියක් තිබෙන බව පිළිගත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතිමය සහ ව්‍යවස්ථාපිත යාන්ත්‍රණයන් කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කරවන පරිදි කඩිනම් ලෙස සියළු අංශ කටයුතු කල යුතු බව පවසයි.

රනිල් වික්‍රමසිංහගේ පස්වන පටුමගේ පෞද්ගලික නිවසට ගිනි තැබු පිරිස් වල ක්‍රියාකාරිත්වය සිවිල් සමාජයේ බොහෝ කොටස්වල හෙලාදැකීමට ලක් විය. මේ පිරිස කවුරුන්ද යන්න තවමත් හරි හැටි හෙළිදරව් වී නැත.

කතානායක නිල නිවස ඉදිරිපිට ඇති වූ ගැටුමකදී හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහරදීම සහ ඔවුන් සතුව තිබූ පතොරම් ඇතුළු රයිෆල් පැහැර ගැනීම ද තවමත් විමර්ශනය වෙමින් පවතින සිදුවීමකි. මෙම විමර්ශන සඳහා රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ කමිටුවක් පත් කොට ඇත.

ප්‍රජාතන්ත්‍ර වාදයට එරෙහිව එල්ල වී ඇති ෆැසිස්ට් තර්ජනය පරජය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අංශ කටයුතු කල යුතු බව රනිල් වික්‍රමසිංහ පවසයි. පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ අවස්ථාවට සියළුම මන්ත්‍රීවරුන්ට සහභාගිවීමට අවස්ථාවක් තිබිය යුතු බවත්, සාමකාමී අරගල නායකයින් රජයට බාර දී ඇති යෝජනාවලියේ සදහන් “මහජන කවුන්සිලය” ඉතා හොඳ යොජනාවක් ලෙස තමන් පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මහතාට අනුව විරෝධතා කරුවන් දෙකොටසකි. කොටසක් අරගලකරුවන්ය අනෙක් කොටස කැරලිකරුවන්ය.

සැබෑ අරගලකරුවන් ප්‍රචන්ඩ ක්‍රියා නොකරන බව තම විශ්වාසය බව වැඩබලන ජනාධිපතිවරයා කියා සිටී.

Related Articles