අරගලයේ  පෙරමග – මහාචාර්ය  ජයදේව  උයන්ගොඩ…

අරගලයේ පෙරමග – මහාචාර්ය ජයදේව උයන්ගොඩ…

රාජපක්‍ෂලා විසින් ගොඩනගන ලද නායක-කේන්ද්‍රීය අධිකාරවාදය අවසන් කර, ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීමේ නව ‘පශ්චාත්-රාජපක්‍ෂ’ පරිවර්තනයක් අවශ්‍ය වී ඇති යුගයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවක් ඇති බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වාදෙයි.

අනිද්දා පුවත්පත ඔස්සේ අදහස් දක්වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසන්නේ එයට ප්‍රධාන හේතුවක් වන්නේ, දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නය රාජපක්‍ෂ ව්‍යාපෘතියම, අලුත් නමක් යටතේ ඉදිරියට ගෙනයාමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බවයි.

“මෙම අනතුර ඉදිරියේ පුරවැසි අරගල ව්‍යාපාරය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ, රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ආරාධනා නොකරමින් සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙමින්, පුරවැසි අරගලය සාමකාමී ලෙස ඉදිරියට ගෙනයාමයි.”

ආණ්ඩු විරෝධී සමාජ කෝපය අරගලය ප්‍රචණ්ඩ පැත්තට තල්ලු කළත් කලහකාරී සහ පුද්ගල-ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා පාලනය කිරීමේ හැකියාව, අරගලයේ නායකත්වය විසින් ලබාගත යුතුව තිබෙන බවයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙන්නේ.

මහජන කෝපය සාමකාමී සහ නිර්-ප්‍රචණ්ඩ දේශපාලන ශක්තියක් බවට පරිවර්තනය කිරීමේදී ඉන්දියාවේ මහත්මා ගාන්ධි, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහි නිදහස් සටනේදී යොදාගත් දක්‍ෂ උපාය උපක්‍රමවලින් අරගලකරුවන් පාඩම් ඉගෙනගත යුතුය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ඉදිරියට දමා තිබෙන රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ සහ මූලෝපායික ක්‍රියාමාර්ගයට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ කණ්ඩායම්වල ප්‍රතිචාරය හිතකර එකක් නොවුන හොත් අරගලය හුදෙකලා වීමට ඉද ඇති බව මහචාර්ය වරයා පෙන්වා දෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය…

අරගලයට සම්බන්ධ විවිධ කණ්ඩායම් අතරින් වඩාත්ම රැඩිකල් විග්‍රහයක්, ඉදිරි දැක්මක්ද වැඩපිළිවෙළක්ද ඉදිරිපත් කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයයි. අරගලයේ ඉතාම ක්‍රියාකාරී තරුණ බලවේගය වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අනුයුක්ත වී සිටින්නේද පෙරටුගමින්ටය.

පක්‍ෂයේ නායකයා වන කුමාර් ගුණරත්නම්ට අනුව පුරවැසි අරගලය විසින් නියෝජනය කෙරෙන්නේ මහජන පරමාධිපත්‍යය තමන් වෙත යළි ලබාගැනීමට මෙරට ජනතාව සතු දේශපාලන අභිලාෂයයි. අරගල භූමියෙන් නිරූපණය වන්නේ එම අභිලාෂයේ සංයුක්ත ප්‍රකාශනයයි. එය ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ බල කේන්ද්‍ර වන පාර්ලිමේන්තුවට සහ ජනාධිපති ධුරයට විකල්ප සහ සමාන්තරව පවතින, මහජන පරමාධිපත්‍යය ඍජුව ප්‍රකාශ වන බල මධ්‍යස්ථානයයි.

පෙරටුගමින්ට පාර්ලිමේන්තුව විශ්වාස නැත. නිසාම ඔවුන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ වලට කොතෙක් එකඟවේ ද යන්න ප්‍රශ්නයකි. පෙරටුගාමීන් එකඟ නොවන්නේ නම් අරගලය දිගටම සිදුවනු ඇත.

එදිරිවාදී සම්බන්ධතා….

මීට සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය ගඹුරු දැනුම හෝ උවමනාව විපක්ෂයට නැති අතර ඒ හේතුවෙන් එම දේශපාලන පක්‍ෂ සහ වඩා රැඩිකල්වාදී අරගල කණ්ඩායම් අතර සහයෝගයක් ගොඩනැගීමට අවශ්‍ය සංවාදයක් සිදුවීමටද ඇත්තේ මඳ ඉඩකඩකි. වඩාත්ම ඉඩ තිබෙන්නේ එම දෙපාර්ශ්වය අතර සංවාදයක් සිදු නොවීමට සහ ප්‍රතිවිරෝධතාද, එදිරිවාදී සම්බන්ධතාද නිර්මාණය වීමට බව මහචාර්ය උයන්ගොඩ තර්ක කරයි.

පුරවැසි අරගලය, පාර්ලිමේන්තුවේ සිදුවන ක්‍රියාවලිය ගැන සංවේදීව පාර්ලිමේන්තුවේ නියෝජනය ලබා ඇති විරුද්ධ පක්‍ෂ, පුරවැසි අරගලයේ වර්තමාන මොහොතේ සිටින මිත්‍ර බලවේගයක් බවට සලකා. අරගලය ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙනයාමේ වගකීම, අරගල ව්‍යාපාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකම වගකීම බවයි දේශපාලන විද්‍යාව පිලිබඳ මහාචාර්ය ජයදේව උයන්ගොඩ තර්ක කරන්නේ.

Related Articles