ආර්ථික ප්‍රතිසංස්කරණ නැති  වුනොත්  සමගි ජනබලවේගය කුමක් කරයිද ?

ආර්ථික ප්‍රතිසංස්කරණ නැති වුනොත් සමගි ජනබලවේගය කුමක් කරයිද ?

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා බොහෝ දෙනෙක් දන්නා යමක් පුරෝකථනය කරමින් සිටී “අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කර ගන්න බැරි වුණොත් ඊළඟ මාස 06 ඇතුළේ, අපිට මහා විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.” කාරණය ඇත්තකි එහෙත් පිළියම කුමක්ද?

“අපි බලාපොරොත්තු වුණා බ්‍රිජින්ග් ෆයිනෑන්ස් එයි කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලේ සහය ලබා ගන්න පුළුවන් වුණොතින් අපිට ඩොලර් බිලියන 3ක්, තුනහාමාරක් විතර (මිතුරු රටවලින්) ලැබෙයි. ඒ ලැබෙන්නේ අවුරුද්දකට ඩොලර් බිලියනක් වගේ ප්‍රමාණයක්. හැබැයි ඒක ආරම්භ වෙනකන් අපි කොහොමද අපේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නේ. ඔතනනේ ගැටලුව තිබුණේ. දැන් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට මිත්‍ර රට වලින් මුදල් ලැබෙන පාටක් නැහැ.”

හොඳයි මේ රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේග මේ ගැන මොකද කරන්නේ ? ඕකනේ අපි කිව්වේ රනිල්ට බෑ කියලා අත හෝද ගන්නවාද ?

“අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය තියෙනවා නේ අපනයනය කරලා. ඒ ප්‍රමාණය විතරයි අපිට වියදම් කරන්න පුළුවන් වෙන්නේ ආනයනට.” අචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේය.

ඔහු අවධාරණය කළේ “අපි ණය ගෙවන එක තාවකාලිකව නවත්වලා තිබ්බට හැම ණයම නවත්වලා නැහැ. අපිට ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් වගේ ගත්ත ණය කිසි සේත්ම නවත්වන්න බැහැ. අපි නොකා නොබී හරි ඒ ණය ගෙවන්න වෙනවා.”

“ඒ ණය ගෙවන්න, අපනයනයෙන් ලැබෙන සහ කලින් අපි ලෝක බැංකුව යන ආදී ආයතන සමඟ අත්සන් කරලා තියෙන ණය ගිවිසුම් ප්‍රකාරව වාර්ෂිකව ලැබෙන ඒ මුදල් පාවිච්චි කරන්න වෙන්නේ.”

“එතකොට අපිට ජාත්‍යන්තර ගැටලුවක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් නෙමේ මේක. මේ අවස්ථාව තමා අපි ජාත්‍යන්තරයත් එක්ක සම්පූර්ණයෙන්ම සුහදව කටයුතු කරන්න ඕනේ වෙලාව.” හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

වැඩ පිළිවෙලක් නැති පක්ෂය…

පවතින යථාර්තය නම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට බටහිර සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බලාපොරොත්තුවන සාර්ව ආර්ථික වෙනස්වීම් කිරීමේ හැකියාව අඩූය.

මේ තත්වය යටතේ හැමෝම දන්නා දේ ප්‍රතිවාදනය කිරීම ‘වොයිස්කට් ‘මධ්‍ය සංස්කෘතියේ අවශ්‍යතා ඉටු කළත් මේ දැවෙන ගැටලුව එයින් විසඳෙන්නේ නැත. මේ වන විට සර්ව පාක්ෂික ආණ්ඩුවට තමන් එක්වන්නේ නැති බව සජිත් ප්‍රේමදාස ඉඟි කොට ඇත.

එසේ නම් ඊළඟ වැඩපිළිවෙල විය යුත්තේ මැතිවරණයකින් බලය ලබා ගැනීමයි. වැඩ පිළිවෙලක් නැති පක්ෂයකට ඉක්මන් මැතිවරණයක් මෙන්ම බලයද ලබාගැනීම දුෂ්කර විය හැකිය.

Related Articles