ඇමරිකානු තෝරා  චීන මෝරා හා ගැටෙන විට ශ්‍රීලංකා හාල්  මැස්සා තැලේ ….

ඇමරිකානු තෝරා චීන මෝරා හා ගැටෙන විට ශ්‍රීලංකා හාල් මැස්සා තැලේ ….

ඇමරිකානු එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියේ පරිපාලක සමන්තා පවර් පසුගියදා පැවසුවේ චීනය ශ්‍රී ලංකාව නය උගුලකට හිර කොට ඇති බවයි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ ණය අර්බුදය චීනය සහ ඇමරිකාව අතර එහාට මෙහාට විසිවෙන පන්දුවක් බවට පත්ව තිබේ.

දුෂිත දේශපාලඥයින් සමඟ…

සමන්තා පවර්ට පිළිතුරු දෙන චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසන්නේ ශ්‍රී ලංකාවට චීන ණය කළමනාකරණය කිරීමට සහයෝගය දැක්වීමට තමන් සුදානමෙන් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ දුෂිත දේශපාලඥයින් සමඟ එක්ව ප්‍රමාණවත් ප්‍රතිලාභ නොදෙන ව්‍යපෘති වලට ණය දීම තුලින් මේ ණය අර්බුදය නිර්මාණය වූ බවට නැගෙන ඇමරිකානු චෝදනාචද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් ප්‍රතික්ෂේප කරයි.

දේශපාලන නූල් සුත්තර සමග ණය….

ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිදි ණය ලබාදුන් බවත් සියලුම සහයෝගීතා ව්‍යාපෘති විද්‍යාත්මක සැලසුම්කරණයකින් සහ ගැඹුරු තක්සේරුවකින් සිදු වී ඇති අතර කිසිවිටෙක දේශපාලන නූල් සුත්තර සමග ණය නොදුන් බවත් චීන ප්‍රකාශකයා පවසයි. සහයෝගීතාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායක වී ඇති අතර ශ්‍රී ලාංකික ජනතාවට එම ණය ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ගෙන දී ඇති බවත් ප්‍රකාශක ෂාඕ ලිජියන් කියා සිටී. මේ පිළිබඳව අදහස් දැක්වූ මාධ්‍යවේදියෙක් පැවසුවේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් මත්තල ප්‍රදේශයේ
සංචාරයක් සඳහා කැඳවා ගෙන යා යුතු බවයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසුවේ ශ්‍රී ලංකාවට අඩු පොලී අනුපාත සහ දිගු කාලීන කල් පිරෙන වරණීය ණය ලබා දෙන අතර, එය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට උපකාරී වී ඇති බවයි.

චීනයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කීපයකට ඩොලර් අගය පිරිහීම සහ හදිසි පොලී අනුපාත ඉහළ දැමීම අහිතකර බලපෑමක් දක්වන බවයි.

එක්සත් ජනපදය තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසාර සංවර්ධනය සඳහා එය කර ඇත්තේ කුමක්ද? යන්න බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් අසා සිටියේය.

දැනට පවතින තත්වය අනුව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රි ලංකාවේ ගැටළුව උපයෝගී කරගනිමින් චීනය කලාපයේ හදවතක් නැති ගිනිපොලී කරුවා සේ හංවඩු ගසමින් සිටී. අනෙක් අතට ඔවුන් චීනය ගැන කියන කථා වල ඇත්තක් නැත්තේද නොවේ. කථාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් චීනය ගිනිපොලී ලේබලයට එරෙහිව සටන් කරමින් සිටී.

බටහිර හෝ චීනය කඩිනමින් ශ්‍රී ලංකාවට සහන ලබාදෙන බවක් පෙනෙන්ට නැත. විචාරකයින් පවසන්නේ තෝරෙක් වන ඇමරිකාව මෝරෙක් වන චීනය සමඟ ගැටෙන වීට හාල් මැස්සෙක් වන ශ්‍රී ලංකාව ගැටෙන බවයි.

Related Articles