ගෝඨාභයට තායිලන්තයේදී  දේශපාලනය බැහැ….

ගෝඨාභයට තායිලන්තයේදී දේශපාලනය බැහැ….

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට පැමිණීමට අවසර ලබාදී ඇති නමුත් ඒ හා බැඳුනු කොන්දේසි ආණ්ඩුව විසින් මතක් කොට දී ඇත.

දිගටම තායිලන්තයේ රැඳී සිටීමට අවසර ලබා නොදෙන බව තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා විසින් අවධාරණය කොට ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන් හට ස්ථිර රැකවරණය ලබා දීමට කැමති රටක් සොයනු ඇතැයි තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා ප්‍රකාශ කළේය. තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා පැවසුවේ දින අනුවේ කාලය ඉක්ම ගියපසු ඔහු රටින් පිටවී යායුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මානුෂීය හේතුන් මත තායිලන්තයට පැමිණීමට ඉඩ ලබාදුන් නමුත් ඒ සමඟම නැගෙන ජාත්‍යන්තර විරෝධය පිළිබඳව තයිලන්තය දැනුවත්ව වැඩකරන බවක් පෙනෙන්නට ඇති බව දේශපාලන විචාරකයින් සදහන් කරති.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට රැකවරණ දෙන රට කුමක්ද යන්න උභතෝකෝටික ගැටළුවක් බවට පත්වෙමින් පවතී. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුට විවිධ නඩු වලට මුහුණ දීමට සිදුවෙතැයි ඇතැම් නීතිවේදීහු පෙන්වා දෙති.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ තායිලන්තයේ මාස තුනක් ගෙවී ගිය තැන ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹින් මාලදිවයිනට ගිය අවස්ථාවේ සිට ශ්‍රී ලංකා රජය මාලදිවයින, සිංගප්පූරුව සහ දැන් තායිලන්ත රජය සමඟ සම්බන්ධ වෙමින් ඔහුට තාවකාලිකව එම රටවල රැඳී සිටීමට කටයුතු සම්පාදනය කොට ඇත.

රාජපක්ෂලාට රටින් පලායාමට වියදම් දැරුවේ ඔහු සහ ඔහුගේ පුත් මනෝජ් රාජපක්ෂ බවත් ඔහු සහ ඔහුගේ බිරිඳ ප්‍රවාහනය කිරීමට යොදාගත් ගුවන් හමුදා ගුවන් යානය හැර මෙතෙක් ඔහු වෙනුවෙන් රාජ්‍ය මුදල් යොදවා නොමැති බවත් ඩේලි මිරර් වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ නවාතැනට මුදල් සපයන්නේ ධනවත් ව්‍යාපාරිකයින් බව ඩේලි මිරර් වාර්තාව අනාවරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මැදපෙරදිග රැකවරණ පතා යාමට කිහිප වතාවක්ම උත්සාහ කළද ඔහුට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඔහුට දැන් විකල්ප දැඩි ලෙස සීමාවී ඇත.

Related Articles