ගෝඨා එක්ක ඉන්නේ කවුද?

ගෝඨා එක්ක ඉන්නේ කවුද?

හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබසිද්දී සිනාමුසු මුහුණින් ඔවුන් පිළිගැනීමට දිව ගිය අතර ඒ පිරිස අතර මහිදානන්ද අලුත් ගමගේ ප්‍රසන්න රණතුංග,මධුර විතානගේ යන දේශපාලනඥයන්, වියත් මගේ සාමාජිකයින් සහ ව්‍යාපාරිකයන් පිරිසක්ද සිටියහ.

ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීමට කැමති පිරිසක් පොහොට්ටු සන්ධානය තුළ සිටින බවට මෙම පිරිසෙන් ඉඟියක් ලබාගත හැකි බව දේශපාලන විචාරකයෝ පැවසුහ.

ගෝඨාභය රාජපක්ෂ නැවත ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ සැලසීම සඳහා තමා ඉල්ලා අස්වීමට සූදානම් බව මන්ත්‍රීනි සීතා අරඹේපොල ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා
ශ්‍රී ලංකාවට ගොඩ බැස පැය කීපයක් යන්න මත්තෙන්ය. ආපසු එන සහෝදරයා පිළිගැනීමට ආසන්නතම රාජපක්ෂ පවුලේ කිසිවෙක් ගුවන් තොටුපළට පැමිණ සිටියේ නැත. හිටපු ජනාධිපතිවරයා යළි දේශපාලනයට පැමිණීම රාජපක්ෂ පවුල තුළ දැඩි ලෙස කතාබහට ලක්වන කරුණක් බවට අනුමාන කෙරේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇති නීතිමය අභියෝග දේශපාලනයට පැමිණීමට හෝ නොපැමිණීමට බලපාන බව පෙනෙන්නට තිබේ.

ජනාධිපති ලෙස ව්‍යවස්ථාපිත මුක්තියෙන් ආරක්‍ෂා වූ නිසා ගෝඨාභය රාජපක්‍ෂ උසාවි ක්‍රියාදාමවලින් බේරී සිටීමේ අවස්ථාවක් ලැබී තිබින. ඔහු 2019 දී තේරී පත් වූ වහාම ඔහුට එරෙහි දූෂණ නඩුවක් ඉල්ලා අස්කර ගන්නා ලදී. තරුණ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නඩුවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට ලබන සතියේ සිතාසියක් ලැබිය හැකි බව වින්දිතයන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ නුවන් බෝපගේ පවසයි. මීට වසර 12 කට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී මෙම අතුරුදන් කිරීම් සිදු විය.

නිසැකවම ඔහුට රට හැර යාමට බල කළ විරෝධතාකරුවන් ඔහු සමඟ නොසිටින නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකිකයෙකු බවත් මේ රටේ ජීවත් වීමට අයිතියක් ඇති බවත් විශ්වාස කරන නිසා ඔහු නැවත පැමිණීමට බොහෝ විරෝධතා කරුවන් විරුද්ධ නැත.

Related Articles