ඩලස් – රාජපක්ෂ  බලය  බිඳීද ?

ඩලස් – රාජපක්ෂ බලය බිඳීද ?

රාජපක්ෂවරුන්ගේ බලකොටුව මේ වන විට දැඩි සසල වීමකට ලක්වී ඇත. රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සුදානම් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහුගේ මේ ක්‍රියාව රාජපක්ෂවරුන් ගේ බලකොටුව තවත් දෙදරීමකට ලක් කිරීමකට තබන පියවරක් ලෙස පොහොට්ටුවේ ඇතැමුන් දකිති.

මේ වන විට ඩලස් අලහප්පෙරුම සහ ඔහු සමඟ ස්වාධීන වූ පිරිස පොහොට්ටුවේ දැඩි මතධාරීන්ගේ විවේචනයට ලක්වී සිටිති. ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂට ලියා දැන්වුයේ ඔහු තනතුරෙන් ඉවත් විය යුතු බවයි.

අනෙක් අතට ඩලස් අලහප්පෙරුම සහ රාජපක්ෂවරුන් අතර සම්බන්ධය මේ වන විට පලුදු වී ඇති බව රහසක් නොවේ. මේ තත්වය යටතේ රාජපක්ෂ වරුන්ගේ බල පරාක්‍රමය අභියෝගයට ලක්කොට පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සංධානයක් ගොඩ නැංවීමට අලහප්පෙරුම කල්පනා කරන්නේ නම් මෙය එම සැලැස්ම ක්‍රියාවට නැගීමට හොඳ අවස්ථාවකි.

මෙම සැලැස්ම ක්‍රියාවට නැගීම සඳහා ඔහුට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ චන්ද්‍රිකා බණ්ඩරනායක මැතිනියගේ සහයෝගයද ලබාගත හැකිවනු ඇත.

දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක තමන් නිරත වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල් කාන්තද පිළිගෙන ඇත.

‘මා සෑම විටම මෙරට ජනතාව ගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසකි’ යනුවෙන් ඩලස් පවසයි. තමන්ගේ ආසනයට වැඩි යමක් හෝ භාරගත් අමාත්‍යාංශයට වැඩි යමක් සිදු කළ බවක් පෙනෙන්නට නැතත් ඉදිරිපත් වූ සෑම මැතිවරණයකින්ම ඔහු ජයග්‍රහණය කොට ඇත.

ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව ඔහු කියා සිටී. දියුණු සංස්කෘතික සමාජයක් ලෙස මේ සියල්ලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානූකූල දේශපාලන රාමුවක් තුළ බව ඔහු ප්‍රකාශ කරයි.

සියලු දෙනාගේම සහය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු ලෙස ඩලස් අලහප්පෙරුම හදුන්වා දීය හැකි අතර ඔහුගේ මිත්‍රශීලී හැසිරීම ඔහුගේ පෙරගමනට නියත වශයෙන්ම රුකුලක් වියහැකිය.

Related Articles