දේශබන්දුට ලක්ෂ පහක දඩ

දේශබන්දුට ලක්ෂ පහක දඩ

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කල බවට තහවුරුව තිබියදී පොලිසියේ ප්‍රධානි ධුරය දරන පළමුවැන්නා බවට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්ව සිටී.

2010 වසරේ දී, හිටපු හමුදා සෙබළෙකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා වදහිංසාවලට ලක් කිරීම තුළින්, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිව්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැ යි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

මිල්ලව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබලෙකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඔහුට අමානුෂික ලෙස පහරදී ස්නායු පද්ධතියට හානි පමුණුවා ඇති බව උසාවියේදී අනාවරණය විය.

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසම සහ නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නියෝග කොට ඇත . මේ සමඟම පොලීසියේ ප්‍රධානියාව සිටියදී විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන පළමුවැන්නා බවට
දේශබන්දු තෙන්නකෝන් පත්වේ .

දේශබන්දුගේ හැසිරීම :

නඩු තීන්දුවේදී දේශබන්දු තෙන්නකෝන් හැසිරීම දෝෂ දර්ශනයට ලක්වී තිබේ . ඔහු හිංසනය කෙරුණු තැනට පැමිණ තිබෙන බවත් ඔහු ත්‍රිරෝද රථ රබර් පටියකින් පෙත්සම්කරුට පහර දී තිබෙන බවත් හෙළිදරව් වේ තිබේ . පසුව පෙත්සම්කරුව නිරුවත් කරන ලෙස අණ කොට පෙත්සම්කරුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයට සිද්ධාලේප ආලේප කරන ලෙස ඔහු අණකළ බවත් නඩු විභාගයේ දී කරුණු ඉදිරිපත් විය.

පොලිසියේ පහළ නිලධාරීන් තමන්ට ලැබී තිබෙන බලය අවභාවිතා කිරීම වැළැක්වීමට ඉහළ නිලධාරීන් වග බලාගත යුතු යි. තමන් යටතේ සිටින නිලධාරීන්ගේ හැසිරීම සුපරීක්ෂණයට ලක් කළ යුතු යි. පොලිස් නිලධාරීන්ට ලැබී තිබෙන තරු, බලය පෙන්වන ආභරණ නොවේ. ඒවා හුදු වගකීමේ සංකේත බව සිහි තබාගත යුතු බවත් විනිසුරු විනිසුරු තුරෛරාජා තම නියෝගයේ සඳහන් කළේය.

බරපතල මානව හිම්කම් චෝදනා තිබියදී දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති තනතුර සඳහා පත් කිරීමට ව්‍යවස්ථා දායක සභාව කටයුතු කළේ කෙසේද යන ප්‍රශ්නයත් මතු වී තිබේ

ඩබ්ලිව්. රංජිත් සුමංගල ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් එවක නුගේගොඩ ප්‍රදේශයේ භාරව සිටි පොලිස් අධිකාරීවරයා වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, පොලිස් නිලධාරී බණ්ඩාර සහ සිවිල් පුද්ගලයකු වන අජිත් වනසුන්දර යන අය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් පෙත්සම්කරුට මාස හයක් ඇතුලත වන්දි ගෙවිය යුතු බව විනිසුරුවරු නියෝග කළහ.

එම වන්දි මුදල් අද දින සිට මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට, කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෛරාජා විසින් නියෝග කෙරිණි.

සුසාන භූමියේදී පහරදීම :

මිරිහාන පොලිසියේ සේවය කළ බණ්ඩාර සහ භාතිය ජයසිංහ යන නිලධාරීන් දෙදෙනා අජිත් වනසුන්දර නැමැත්තා සමඟ 2010 වසරේ දෙසැම්බර් මස 18 වනදා ත්‍රීරෝද රථයකින් පැමිණි රංජිත් සුමංගල අත්අඩංගුවට ගෙන ඇත .

දඹර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකට සුමංගල ගොස් ඔහුට පහර දෙමින් ප්‍රදේශයේ සිදුවන මංකොල්ලකෑම් හා යුද හමුදාවේ සිටිය දී භාවිත කළ ගිනි අවිය පිළිබඳව ප්‍රශ්න කොට ඇත .
මිරිස් කුඩු තැවරූ ප්ලාස්ටික් මලු දෙකක් ඔහුගේ හිසට බහා හුස්ම ගන්නා ලෙස වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඔහුට බලකළ බවත් සුමංගල උසාවියට කියා සිටියේය.

කටින් ලේ ගැලීමට පටන්ගත් විට භීතියට පත්ව පොලිස් නිලධාරීන් එල්ල කළ චෝදනාවලට වරද පිළිගත් බවයි සුමංගල පැවසුවේ.

වගඋත්තරකාර පොලිස් නිලධාරින් ඉදිරිපත් කරන කරුණු එකිනෙකට පරස්පර බවත්, ඒ අනුව ඒවා ප්‍රතික්ෂේප කරන බවත්, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෛරාජා ප්‍රකාශ කළේ ය.

“මෙම සිද්ධියේ දී නීතියේ ආධිපත්‍යය අවම මට්ටමින් හෝ පවත්වාගෙන යාමට වගඋත්තරකාර පොලිස් නිලධාරින් අසමත් වී තිබෙනවා. . මෙය හුදකලා සිද්ධියක් වශයෙන් සලකන්න බෑ. මෙය කාලාන්තරයක් තිස්සේ සිදුවෙමින් පවතින ආයතනික කඩාවැටීමක දිගුවක් බව සඳහන් කළ යුතු යි,” යනුවෙන් විනිසුරු තුරෛරාජා ඔහුගේ තීන්දුවේ සඳහන් කර සිටියේ ය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා පෙනී සිටියේ ය.

Related Articles