නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම ගැන  අස්ගිරි පාර්ශවයේ කතිකාවක්…

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම ගැන අස්ගිරි පාර්ශවයේ කතිකාවක්…

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම සඳහා රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධව සංඝ සභාවේදී සාකච්ඡා කොට සුදුසු ලෙස ඊට මැදිහත්වෙන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ උන්වහන්සේ බැහැදුටු ස්වභාෂා අයිතිය වෙනුවෙන් වූ නීති විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ සිසුන් හට පැවසුහ.

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබෙන හේතු විමසන බව උන්වන්සේ පැවසුහ.

පළමු වසරේ දී විෂයන් තුනක් දෙවන වසරේ විෂයන් පහක් හා තුන්වන වසරේ දී සියලුම විෂයන් ලෙස ක්‍රමිකව විභාගය ඉංග්‍රීසියෙන් පමණක් පැවැත් වීමට නීති විද්‍යාලය තීරණය කර තිබෙන බවත් විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ප්‍රාථමික පංති වලදී ලබා නොදී එක්වරම විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත් වීම තුළින් ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලද සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව සිසුන් පැවසුහ.

විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් පාසැල් මට්ටමින් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීම ක්‍රමිකව වසර 10 ක් හෝ 15 ක් ගෙන ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ ඇමැතියරයාගෙන් ඉල්ලා සිටින බවද සිසුන් පවසති.

දාළ ගැසට් පත්‍රයට අනුව 2025 වන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සම්පූර්ණ විභාග පැවැත්වීමට තීරණය කිරීම ස්වභාෂා අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරිමක් බවත් ග්‍රාමීය වශයෙන් නීති විද්‍යාලට තේරී පත්වන දරුවන් විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා නොමැති වීම තුළ ඔවුන්ට බරපතල අසාධාරණයක් සිදුවන බවත් අනාගතයේ ග්‍රාමීය සිංහල බෞද්ධ දරුවන්ට නීතීඥවරයෙකු වීම සිහිනයක් පමණක්ම වනු ඇති බවද සිසුන් පෙන්වා දෙති.

Related Articles