මොකද මේ බෝලිං පස්සේ පන්නන්නේ ?

කීර්තිමත් පිහිනුම් ශූරයක් මෙන්ම සමාජ ක්‍රියාධරයෙක් වන ජුලියන් බෝලිං අ රගලයට අදාළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම දැඩි කථා බභට ලක්වෙන මාතෘකාවක් බවට පත්වෙමින් පවතී.

මේ මොහොතේ රාජපක්ෂවරුන්ට එරෙහිව අධිකරණයේ ගොනු කොට ඇති ප්‍රධාන නඩුවක එක පෙත්සම් කරුවෙකු වන්නේ ජුලියන් බෝලිංය.

රට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කිරිමට කටයුතු කළ පුද්ගලයන් අතර ජුලියන් බෝලි ද සිටී.

පෙත්සම මේවනවිට විභාග වෙමින් පවතින අතර, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට අධිකරණයේ අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් පනවා ඇත. මෙම පෙත්සම් විභාගය හරහා බොහෝ අදුරදර්ශී තීරණ වල සුලමුල හෙළිවීමට ඉඩ තිබේ.

මේ අවස්ථාවේදී කටඋත්තර ගැනීම සඳහා සිදුකර ඇති මෙම කැඳවීම සිවිල් සමාජයේ දැඩි අවධානයට ලක් විය යුතු බවයි සමාජ ක්‍රියාධරයින් පවසන්නේ. ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් ද කට උත්තර ගැනීම සඳහා කැඳව ඇත.

පසුගිය ජූලි මස 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම් සිදුකොට ඇති බව පොලීසිය පවසයි . ඒ අනුව ඔවුන් අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමට පෙර එම නිවාස ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට මොවුන් ද සහභාගී වී ඇති බවත්, ජොනතන් මාටින්ස්ටයින් නිවාස තුලට බලහත්කාරයෙන් කඩා පැනීමට උත්සහ කර ඇති බවත් පොලිසිය පවසයි.

Related Articles