රනිල්ට අලුත් වෙන්න පුළුවන්ද ?

රනිල්ට අලුත් වෙන්න පුළුවන්ද ?

මාස ගණනාවක මහජන විරෝධතා සිදුවෙද්දී මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් පැවසුවේ මේ ගැටළු විසදන තාක් තමන් දේශපාලඥයින් හමු නොවන බවයි.

මේ ප්‍රකාශයෙන් පසුව හිටපු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ නික්ම ගිය අතර දැන් තත්වය වෙනස් වෙමින් පවතී. සාමාන්‍යයෙන් ජනතාවගේ පැත්තේ හිට ගන්නා බව ප්‍රකට තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැණික්කටුවේ පිරිත් නුලක් බැඳ නව ජනාධිපති වරයාට ආශීර්වාද කළේය.

මේ සිදුවීම සංකේතාත්මකව වැදගත්ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රමයෙන් පිළිගැනීමක් ලබන බව පැහැදිලිය. නව ජනාධිපතිවරයා පවසන පරිදි ලෙඩා මැරෙන්න දෙනවද ලෙඩා බේරා ගන්නවාද යැයි අප විසින් තීරණය කළ යුතුය.

එහෙත් ප්‍රශ්නය හිතන තරම් සරල නැත මැරෙන්න යන ලෙඩා බේරා ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ නම් දොස්තර වරයාට තිබේද යන්න පිළබඳව එකඟතාවක් නැත. සමහරුන් පවසන ආකාරයට ඔහු රාජපක්ෂ වරුන් නියෝජනය කරන කපටි සුත්තර කාරයෙකි-එහෙයින් ඔහු රනිල් රාජපක්ෂය.

තවත් සමහරුන් පවසන් ආකාරයට ඔහු ශ්‍රී ලංකාවේ සිටින පරිණතම දේශපාලඥයාය, එහෙයින් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කොට තෙල්පෝලිම, ගෑස් පෝලිම් සහ බඩගින්න සමඟ පොර බැදීමට වඩාත් යෝග්‍ය පුද්ගලයා රනිල් වික්‍රමසිංහය.

පවතින යථාර්තය මේ මතවාද දෙකටම වෙනස්ය.

ගෑස් ,තෙල් සහ බඩගින්න යනු ඇත්ත ගැටළුය මේ ගැටළු විසඳන්නේ නැතුව ජීවත්වීමට නොහැකිය එසේ නොකොට ජීවත් වන්නට උත්සාහ කිරීම ප්‍රචණ්ඩ කැරලිකරිත්වයකට අතවැනීමකි. මේ ගැටළුව විසඳීමට නම් තමන් පොහොට්ටුවෙන් ආවත් එතැනින් එහාට හිතන අළුත් රනිල් වික්‍රමසිංහ කෙනෙක් බව බහුතර ජනතාවට ඒත්තු ගැන්විය යුතුව ඇත. මේ සඳහා දැනට ඉදිරිපත් කොට ඇති සර්ව පාක්ෂික වැඩ පිළිවෙල සාර්ථක පිළියමක්ද යන ප්‍රශ්නය මතුවේ.

රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ පොහොට්ටුවේ සහයෝගය ඒ ලෙසින්ම තබාගෙන සෙසු පක්ෂ වලින් මන්ත්‍රීවරුන් තමන්ගේ ගොඩට එකතු කර ගැනීමේ ක්‍රියාවලියක් වන බව පෙනෙන්නට තිබේ. මේ වන විට රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලියා දන්වා ඇත.

දැනට පවතින පාර්ලිමේන්තුවේ හැටියට මේ උපක්‍රමය හරියාමටද ඉඩ ඇත. මෙවර පාර්ලිමේන්තුවට පත්වූවන් ගෙන් කීදෙනෙක් මිළඟ පාර්ලිමේන්තුවට පත්වේද යන්න පිළිබඳ සැකයක් ඇත. එහෙව් එකේ ඇමතිකමක්, රාජ්‍ය ඇමතිකමක් ලබා ගන්න ඉඩක් ඇත්නම් එසේ නොකර ඉන්නට හේතුවක් ඇති මන්ත්‍රීවරුන් ඉන්නවා නම් ඒ අතළොස්සකි. එහෙයින් පාර්ලිමේන්තුව තුළ බලය පවත්වා ගෙන යෑමට ප්‍රමාණවත් සම්මුතියක් ගොඩනගා ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහට ඉඩ ඇත.

අළුත් රනිල් වික්‍රමසිංහ….

පාර්ලිමේන්තුව තුල ගනුදෙනුව බේරාගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ සතු වූවත් පොදු ලාංකීය සමාජය සහ ජාත්‍යන්තරය සමඟ ගනදෙනු බේරා ගැනීමට නම් අළුත් රනිල් වික්‍රමසිංහ කෙනෙක් බිහිවිය යුතුය.

මේ සඳහා අවශ්‍ය ඉඩකඩ යම් තරමකට විවර වෙමින් පවතී, ජාත්‍යන්තරය සහ පොදු ජනතාව ගැටළුවේ තරම හොඳින්ම දනිති. ඒ නිසාම රනිල් වික්‍රමසිංහට යම් කිසි අවකාශයක් විවර වෙමින් පවතී. එහෙත් එම අවකාශය මේ දැන් ඉන්න හෝ පරණ රනිල්ට නොවේ ඒ අවකාශය අලුත් රනිල් කෙනෙකුටය, ඒ අළුත් රනිල් වික්‍රමසිංහ බිහි කිරීමේ වගකීම ඇත්තේ පරණ රනිල් වික්‍රමසිංහටය.

Related Articles