රාජ්‍ය ඇමතිවරු  කලකිරීමෙන්ද ?

රාජ්‍ය ඇමතිවරු කලකිරීමෙන්ද ?

අවිනිශ්චිත කාල වකවනුවකට පසුව රාජ්‍ය ඇමති තනතුරක් ලැබීම සතුටට කරුණක් වුවත් ජනාධිපතිවරයා විසින් පනවා ඇති කොන්දේසි වලට රාජ්‍ය ඇමතිවරු කීප දෙනෙක්ම අකමැත්තෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැන් ගැනීමට තිබේ. නව ක්‍රමව්දය අනුව රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙනම වැය ශීර්ෂයක් වෙන් කෙරෙන්නේ නැත. රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරයෙකු පත් නොවෙන අතර අමාත්‍යාංශයේ සිටින ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු පුර්ණකාලීනව යොදවා ගත හැකිය.

මීට පෙරත් බොහෝ අවස්ථා වල ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු අතරේ ගැටුම් ඇතිවීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ක්‍රමය ඇති කරන ලදී.

වියදම් කළමනාකරණය සඳහා විශේෂ විධිවිධාන ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට අද (09) දී තිබෙන උපදෙස් අනුව සීමා කිරීම් රැසක් යෝජනා වී ඇතැත් අර්බුදකාරී වාතාවරණයක් තුලදී මේ වියදම් දැරීම පහසු නොවේ.

මේ නව රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට පොහොට්ටුවේ සහයෝගය ලබාගෙන දේශපාලන ගැම්මක් ලබාගත හැකි නමුත් එය රටේ ආර්ථිකයට ඇම්මක් වීමට ඉඩ ඇත. මන්ද යත් මේ නව පත් කිරීම් හේතුවෙන් රටේ නිෂ්පාදනයට සිදුවෙන දායකත්වය පැහැදිලි නැති හෙයිනි.

රාජ්‍ය අමාත්‍යවරුන් රාජකාරී කටයුතු කිරීමේදී එම නියමයන්ට අනුව පහසුකම් සැලැස්විය යුතු බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට වෙත මෙම උපදෙස් නිකුත් කර ඇත.

මහජන මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් පරිහරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතත් මේ පත් කිරීම් සිදු නොකළේ නම් මීට වඩා අරපිරිමැසුම් දායක විය හැකිව තිබුනු බව දේශපාලන විචාරකයින් පෙන්වාදෙති.

නව නිර්දේශ වලට අනුව එම රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරයෙකු පත් නොකරන අතර එක් එක් විෂය පථයට ගැනෙන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කටයුතු පහසු කිරීම වෙනුවෙන් එම අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු අතරින් ජ්‍යෙෂ්ඨතම අතිරේක ලේකම්වරයා යෙදවිය යුතුය. එම අතිරේක ලේකම්වරයාට සහාය වීම පිණිස දැනට යෙදවිය යුතුය.

අදාළ රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇති අමාත්‍යාංශයට දැනට අනුමත කාර්ය මණ්ඩලයෙන්ම කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරාදිය යුතුය. ඒ වෙනුවෙන් නව තනතුරු ඇති කර ගැනීම සඳහා වන ඉල්ලීම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් නොකළ යුතුය.

කාර්යාල පවත්වාගෙන යාම සඳහා දැනට අදාළ කැබිනට් අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන කාර්යාල පරිශ්‍රය තුළම පහසුකම් සලසාගත යුතුය.

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්වරයා වෙත පමණක් නිල වාහනයක් ලබා ගැනීම සඳහා හිමිකම් ලබන අතර, පෞද්ගලික ලේකම්ගේ නිල රියදුරුගේ අතිකාල හා සංයුක්ත දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.

සහාය කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරින් සඳහා පොදු වාහන 02ක් පමණක් වෙන් කර දිය යුතුය. අමාත්‍යාංශය සතු වෙනත් සංචිත වාහන එකී නිලධාරීන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා නොකළ යුතු වේ.

කළමනාකරණ සහකාර, සංවර්ධන නිලධාරි, කාර්යාල කාර්ය සහායක සහ රියදුරු ස්ථීර රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අතරින් පමණක් තෝරාගත යුතු වේ. එම රියදුරන්ට මාසික අතිකාල දීමනා ලැබිය හැක්කේ පැය 150ක උපරිමයකට යටත්ව වන අතර ඔවුන්ගේ මාසික සංයුක්ත දීමනාව උපරිම දින 08කට හිමිකම් ලබයි.

පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරී සඳහා අනුමත උපරිම සීමාවට යටත්ව සන්නිවේදන දීමනාව ලබාදිය යුතු අතර, එම සන්නිවේදන දීමනාවට දත්ත භාවිතා කිරීම, ජාත්‍යන්තර දුරකථන ගාස්තු, මාසික ස්ථාවර ගාස්තු, බදු මුදල් හා අනෙකුත් ගාස්තු අයත් වේ. සහාය කාර්ය මණ්ඩල සඳහා රජයේ වියදමින් ජංගම දුරකථන ලබා නොදිය යුතුය.

පෞද්ගලික ලාභ අපේක්ෂා …

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රාජ්‍ය අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බවත්, ඔවුන් පක්‍ෂ ස්ථාවරයට පටහැනිව තම තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂා පෙරදැරිව මෙම අමාත්‍යධූර ලබාගැනීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවත්, එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Related Articles