විධායක ජනාධිපති ක්‍රමය ඇත්තටම අහෝසි කළහැකිද ?

විධායක ජනාධිපති ක්‍රමය ඇත්තටම අහෝසි කළහැකිද ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයට පෙර, විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නට යන බව කියා සිටියේ මැතිවරණ පැවැත්වීමට යන බව කියන ගමන්මය . මීට පෙරත් මහින්ද රාජපක්ෂ , චන්ද්‍රිකා කුමාරතුංග , මයිත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපතිධුරය අහෝසි කලයුතු බව පවසා ඇත. එහෙත් මේ තාක් කල් එය එසේ සිදුවී නැත .

රස මස් කට්ටකි

එසේ සිදු නොවීමට හේතුව සරල එකකි . විධායක ජනාධිපති තනතුර යනු රස මස් කට්ටකි. එය සුප්පු කිරීම ආරම්භ කල පසු එය අත්හැරීමට හිතෙන්නේ නැත. විධායක ජනාධිපති මස් කට්ට සුප්පු කරන්නේ ගෝල බාලයින් සමඟය.  ඒ නිසා මේ කාටවත් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ වුවමනාවක් ඇතිවන්නේ නැත. කළ යුත්තේ සුළු දෙයකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පෙන්වීමට කමිටු දෙක තුනක්  පත් කොට අහවල් හේතුව නිසා එය සිදු කල නොහැකි වූ බව කියා සිටීම ප්‍රමාණවත්ය. මීළඟ වතාවේ බලය ලැබුන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පැවසීමට එය ඉතිරි කර තබා ගැනීම වැදගත්ය . එහෙයින් සාමාන්‍ය ක්‍රමය යටතේ ජන්දයෙන් තේරී පත්වෙන ජනාධිපතිවරයෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරතැයි සිතිය නොහැක. එහෙත් මෙවර ඇත්තේ ඉඳුරාම වෙනස් තත්වයකි. රනිල් වික්‍රමසිංහ යනු සාමාන්‍ය ආකාරයට ජන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයෙක් නොවේ .

රනිල් වික්‍රමසිංහ ගේ අසාමාන්‍ය පත්වීම:

අනෙක් අතට ආණ්ඩුවේ ජනප්‍රියත්වය සියයට දහය දක්වා පහළ බැස ඇත .රනිල් වික්‍රමසිංහට ලැබුනේ කුණාටු සහිත මුහුදේ එහා මෙහා පාවෙන හිල්වූ නැවකි .

රනිල් වික්‍රමසිංහට ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්නට නොහැකි වන බව ඒත්තු ගිය හොත් ඔහු ඊ ලඟට බලන්නේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ ආසන කීපයක් ලබා ගත හැකි ආකාරයයි .

තමන්ට විධායක ජනාධිපතිකම ලබා ගත නොහැකි නම් එය අහෝසි කොට එසේ කිරීමේ කීර්තිය තමන් වෙත රඳවා ගනිමින් පාර්ලිමේන්තුව තුළ තරමක බලයක් රඳවා ගත හැකි වුවහොත් රනිල් වික්‍රමසිංහට එය නරක නැත.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට පියවර ගත හොත් බොහෝ දෙනාට ඊට විරුද්ධ විය නොහැක. සජිත් ප්‍රේමදාසට ඊට එරහි විය නොහැක. මුස්ලිම් සහ දෙමළ පක්ශ වලට ඊට‍ එරෙහි සිහින් කෙඳිරිල්ලක් නැගිය හැකිය . එහෙත් විධායක ජනාධිපති ක්‍රමය යටතේ ඔවුන්ට මොන කෙන්ගෙඩියක් වත් ලැබී නැති හෙයින් අවම වශයෙන් සිංහල හෝ මුස්ලිම් ජනතාව වත් එම කෙඳිරිල්ල ගනන් නොගනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ:

අවශ්‍ය නම් තමන් මීළඟට ජනාධිපති තනතුරට පත්වෙන් හෙයින් එය අහෝසි කිරීමට තමන් එකඟ නැති බව ජනතා විමුක්ති පෙරමුණට පැවසිය හැකිය. නමුත් ඔවුන් එසේ පැවසුව හොත් සියයට තිහක් පමණ වූ ජන්දවලින් සැහෙන් කොටසක් අහිමි වීමටත් එය ඉතා ආත්මාර්ථකාමී ප්‍රකාශයක් බවට අර්ථ ගැන්වී පසු බෑමක් ඇති විය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණ දීර්ග කාලයක් තිස්සේ , විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටිය පක්ෂයකි. අනෙක දැනට ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ මන්ත්‍රී ආසන තුනක් පමණි.

ගැටළුව වන්නේ ගැටලුව වන්නේ විධායක ජනාධිපතිධුරය අවසන් කරන සංශෝධනයක් සඳහා කාලය ඇතිද යන්නයි. අනෙක මේ සඳහා තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගත යුතුය. පවතින තත්වය යටතේ රාජපක්ෂවරුන් ගේ ආශීර්වාදය ලබාගත යුතුය. දැන් රාජපක්ෂවරුන් ගේ පාර්ලිමේන්තු බලය සීමා වෙමින් පවතී. මේ ගැටළු වලට සරල පිළිතුරු නැත. දැනට කිව හැක්කේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය නම් විධායක ජනාධිපති අහෝසි කළ හැකි බවයි. එය කරන්නේ කෙසේද යන්න වෙනම කතිකාවකි .

Related Articles