සර්ව  පාක්ෂික ආණ්ඩුව -සිහිනයකි ….

සර්ව පාක්ෂික ආණ්ඩුව -සිහිනයකි ….

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සර්ව පාක්ෂික ආණ්ඩුව පිලිබඳ සැලැස්ම බිඳ වැටෙන ලකුණු පෙනෙන්ට ඇත. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මේ සර්ව පාක්ෂික වැඩ පිළිවෙලට ඇති අකමැත්ත නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයාට දන්වා ඇත.

මෙය හරි නොයන වැඩක් වන බැවින් පොහොට්ටුව පවසන්නේ තමන්ගේ ඇමති සහ රාජ්‍ය ඇමති කෝටාව ලබා දෙන ලෙසයි. ජනාධිපති උපදේශක අකිල විරාජ් කාරියවසම් පවසන්නේ පරමාදර්ශී තත්වයන් බලාපොරොතු විය නොහැකි හෙයින් තිබෙන හැටියට වැඩ කරගෙන යෑම සඳහා පොහට්ටුවේ ඇමති සහ රාජ්‍ය ඇමති කෝටාවට ඉඩදී වැඩ කරගෙන යා යුතු බවයි.

මෙම සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන ලේකම් මද්දුම බණ්ඩාර පැවසුවේ, “අපි විවිධ කරුණු සාකච්ඡා කළා. අපි අවසානයේ පැහැදිලිවම කිව්වා අපි අපේ සහයෝගය ලබාදෙන නමුත් අමාත්‍ය මණ්ඩලයක හෝ වෙනත් පත්වීම් භාර නොගන්නා බව.”

අරලියගහ මන්දිරයෙන් පිටත සහ ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණ කළ පුද්ගලයන්ට එරෙහිව දිගින් දිගටම සිදුවන මර්දධනය ද සමගි ජන බලවේගය අනුමත කරන්නේ නැත.

ජනාධිපති මන්දිරයට (අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයට) අනවසරයෙන් ඇතුළු වූවන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන්ගේ සහ ආධාරකරුවන්ගේ දේපළවලට ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් මේ වන විට අත්අඩංගුවට ගැනෙමින් පවතී.

ආන්දෝලනාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ (PTA) විධිවිධාන යටතේ පවා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත. කොළඹ බටහිර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව පසුගිය කාලයේ වේගවත් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කල නමුත් දැන් දක්වන්නේ සාපේක්ෂ නිහඬතා වකි.

කවර ආකාරයකින් හෝ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව කරගෙන යෑමට ඉඩදීම බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ මනාපය විය හැකිය.

සජිත් සහ රන්ජිත් මද්දුම බණ්ඩාර රනිල් ගෙන් ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටියහ. ඉක්මන් මැතිවරණයකින් ජයගත හැකි බවට නිශ්චිත විශ්වාසයක් සජිත් තුල පවතී.

පක්‍ෂයේ සිටින ඇතැම් ප‍්‍රභූන් ආණ්ඩුවට එක්වී පිල් කඩන්නට ඉඩ ඇතැයි යන බිය සමගි ජන බලවේගය නායකයන් අඩපණ කොට නැත. සජිත් ප්‍රේමදාස තම සාමාජිකයින් කෙරෙහි ඇති විශ්වාසය සහ ඔවුන් ගන්නා සාමූහික තීරණ පිලිබඳව විශ්වාස කරන බව පෙන්න්නුම් කිරීමට උත්සාහ කරයි.

සජිත්ගේ නායකත්ව ගැන අභ්‍යන්තරයේ නොසන්සුන්තාවයක් තිබුනද ඔහු බලයට අසන්න වූ විට එය සමහන් වන බව ඔහු විශ්වාස කරයි. ජනාධිපති වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් කඩිනමින් ඡන්දයකට නොයන බවටසහතික වී තිබේ. මෙමගින් ඔවුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන බව සහතික කෙරේ. රනිල්ට වාසිදායක සාධකයක් වන්නේ ඡන්ද විමසීම් සඳහා සුදුසු කොන්දේසි නොමැති වීමයි .එහෙත් තත්වය වෙනස්වී ඉක්මන් මැතිවරණය යනු ඉවත් දැමිය නොහැකි ඉල්ලීමක් බවට පත් විය හැකිය. ජනතා විමුක්ති පෙරමුණද ඉක්මන් මැතිවරණයක් ඉල්ලා සිටී.
එක්සත් ජාතික පක්ෂය (එජාප) ශක්තිමත් කිරීම රනිල් ගේ අභිප්‍රාය විය හැකිය . දැන් පවතින තත්වය අනුව රනිල්ට ගොඩ නැගිය හැක්කේ බැසිල් රාජපක්ෂ ගේ සහයෝගය ලැබෙන එක්සත් ජාතික පක්ෂයකි. බැසිල් රාජපක්ෂගේ උපාය මාර්ගික කූටෝපායන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්ය මත කටයුතු කිරීමට රනිල්ට සිදූවන අතර ඒ මගින් බරපතල අහිතකර ප්‍රති විපාක ඇති විය හැකිය.

කණ්ඩායම් වලට බෙදී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්තරා සැලැස්මකට අනුව රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙමින් සිටිති.

ඉන්ධන පෝලිම් අඩුවීමත්, ඉවුම් පිහුම් ගෑස් (LPG) තොග අවශ්‍යතා ඇති අයට ලබා දීමත් නිසා ජනාධිපති වික්‍රමසිංහ මහතා සැලකිය යුතු මහජන අනුමැතියක් ලබා ගෙන ඇත. කෙසේ වෙතත්, ඔහු ඉදිරියේ ඇති අභියෝගය වන්නේ එහි අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමයි.

මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන අයවැයට විරුද්ධ වන බවට බැසිල් රාජපක්ෂ කල්ලියේ අය තර්ජනය කළ බව සන්ඩේ ටයිම්ස් පුවත් පත් පවසයි. ඔවුන් ඉල්ලා සිටියේ රාජ්‍ය අමාත්‍ය ධුර, වරප්‍රසාද සහ වරප්‍රසාද සහිත තනතුරු. එක් පුද්ගලික ලේකම්වරයෙකුට, එක් මාධ්‍ය ලේකම්වරයෙකුට සහ සම්බන්ධීකරණ ලේකම්වරුන් තිදෙනෙකුට ඔවුන් හිමිකම් කියති . පස්දෙනාටම වෙනම වාහන හිමිවේ. මීට අමතරව, රාජ්‍ය අමාත්‍යවරුන්ට කාර්යාල කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු, වාහන තුනක් සහ අමාත්‍යවරුන් භුක්ති විඳින වෙනත් වරප්‍රසාද ද හිමිවේ. ඒ අයගේ වැටුපත් ඇමැතිවරුන්ට සමාන වේ. රනිල් වික්‍රමසිංහට මේ අසහනය තේරුම් ගත හැකිය . මේ අවස්ථාවේදී මේ අසහනය සන්සිඳුවීම
සඳහා තඩි කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සිදුවෙනු ඇත. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ එසේ නොකළත් පොහොට්ටුවට දැන් පාර් ලිමේන්තු බලතුලනය තුලින් රනිල්ට අභියෝග කොට දිනාගත හැකි දේට වඩා නැතිවීමට ඇති දේ වැඩිය. ඒ නිසා රනිල්ටද යම් තීරණ ගැනීම සඳහා ඉඩක් විවර වී ඇත.

මේ ගැටලුවේදී මතුවෙන ප්‍රශ්නය වන්නේ රයිගමයා සහ ගම්පලයා වන් බැසිල් සහ රනිල් අතරින් වඩා දක්ෂ කවුරුන්ද යන්නයි.

Related Articles