අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරයට  සිව්දිගින්  දැඩි විරෝධය…

අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරයට සිව්දිගින් දැඩි විරෝධය…

නිරායුද අරගලකරුවන්ට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳව මේ වන තෙක් ආණ්ඩුව පැත්තෙන් පැහැදිලි කිරීමක් සිදුවී නැත. දැනට පවතින තත්වය අනුව ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය පසුබිමක් නිර්මාණය වෙමින් පවතී. ශ්‍රිලංකාවේ පවතින ගැටළුකාරී තත්වය නිරාකරණය කර ගැනීම සඳහා ජත්‍යන්තර සහයෝගය අත්‍යාවශ්‍ය මොහොතක හෙළා දැකීම් වලට ලක් වීමෙන් සිදුවන්නේ තවත් ව්‍යාකුල වීම පමණක් බව විචාරකයින් පෙන්වා දෙති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් පැවසුවේ මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්‍ෂකයන්ට පෙළපාලි නිරීක්‍ෂණය කිරීමට අයිතියක් ඇති අතර එම කටයුතුවලට බාධා නොකළ යුතු බවයි.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා දිසානායක පවසන්නේ අලුයම එල්ලකළ ප්‍රහාරය ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙළා දකිනා බවයි.

විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහරදීම, මාර්ග අවහිර කිරීම සහ වෙනත් පුද්ගලයින් එම ප්‍රදේශයට පිවිසීම වැළක්වීම මෙන්ම නීතිඥවරුන් ද ඇතුළු විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස, විරෝධතා දැක්වීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීමක් බවයි දිනුෂිකා දිසානායක පෙන්වා දෙන්නේ.

කොළඹ අමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් සිදුවීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් නිවේදනයක් නිකුත් කරමින් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ සිදුවීම දැඩිව හෙළා දකිමිනි.

BBC මාධ්‍ය වේදීන්ට ප්‍රහාර එල්ල වීම පිලිබඳව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් ගේ අවධානය යොමුවී ඇති අතර ඇය කියා සිටියේ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියේ වැදගත්කම පැහැදිලිව පෙන්වා දී ඇති බවයි.

වත්මන් අර්බුදකාරී තත්වයන් විසඳීම සඳහා ප්‍රකාශනයේ නිදහස අත්‍යවශ්‍ය බව කොළඹ යුරෝපා සංගම් කාර්යාලය පෙන්වා දෙයි. ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවීමට උපකාරී නොවන බව යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලය පෙන්වා දෙයි.

ප්‍රහාරය හෙලා දැක ඇති පිරිසට කොළඹ නෝර්වේ තානාපති ටයිනි එස්කරඩෙල් ද එක්ව සිටී.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවසුවේ මෙය මුළුමණින්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් වන බවත් මේ පිළිබඳව විමර්ශන කටයුතු දිගටම කරගෙන යන බවයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ ගෝල්ෆේස් අරගලභූමියට එල්ල කළ අමානුෂික හා පිළිකුල් සහගත ප්‍රහාරය තරයේ හෙළා දකින බවයි.

පූජ්‍ය පක්ෂයට, කාන්තාවන්ට හා ආබාධිත ප්‍රජාවට පවා අමානුෂික ලෙස පහරදුන් බවත්, නීතිඥ නුවන් බෝපගේ ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර ඔවුන් පිළිබඳ වැඩි දුර තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කළේය. ජනමාධ්‍ය හා නීති ප්‍රජාව සමඟ එක්ව ඊට එරෙහිව ගත හැකි සියලු නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

“රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරන්නේ “රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව” ම්ලේච්ඡ පන්නයේ නිල ප්‍රචණ්ඩත්වයක් මුදාහල බවයි.
සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීම යන බලාපොරොත්තුව අද සම්පූර්ණයෙන්ම පුස්සක් බවට පත්ව ඇති බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් අවධාරණය කොට සිටියේ.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමියන් පවසන්නේ කිසිඳු ජන අභිමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම පහරදීම් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම කඩකර ඇති බවයි.

මෙම ව්‍යවස්ථා විරෝධී මිලෙච්ච ප්‍රහාරය පිළිබඳ ස්වාධීනව හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් කොට එයට පණ දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බල කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ද ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ ද ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් පවසති.

Related Articles