ගෝඨා හිට්  විකට් වීම  හිට් වෙයි

ගෝඨා හිට් විකට් වීම හිට් වෙයි

පිතිකරුවා හෝ පිත්ත කඩුල්ලේ වැදුනහොත් ක්‍රිකට් ක්‍රීඩාවේදී එය දැවී යාමට හේතුවක් වන අතර එය පොදු ව්‍යවහාරයේදී හිට් විකට් වීම යැයි හැඳිනවේ . හැට නම ලක්ෂයකගේ ඡන්දයෙන් විධායක ජනාධිපති තනතුරට පත්වූ ගෝඨාභය රාජපක්ෂ හට තම තනතුර අතහැර පලායෑමට සිදුවීම හිට් විකට් වීමක් ලෙස සලකන පිරිසක් සිටිති .අනෙක් අතට ඔහුගේ පොත වාර්තා ගත ලෙස අලෙවි වීම තවත් වර්ගයක හිට් එකකි

ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ පාලනයට එරෙහිව අසාර්ථක ප්‍රහාරයක් දියත් කළ කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ නඩු විභාගය අවසානයේදී පැවසුවේ  ‘ඉතිහාසය විසින් මා නිවැරදි කරනු ඇත!’ යනුවෙනි .

තම තනතුර හැරදා පලාගිය පළමු ශ්‍රී ලංකා විධායක ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසය ඔහුව නිවැරදි කිරීමට තිබෙන ඉඩකඩ අඩු නිසාදෝ එම කාර්ය ඔහු විසින්ම ඉටු කිරීමට උත්සාහ කොට ඇත .
මේ වන විට ඔහුගේ පාපොච්චාරණය වන ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ දෙවෙනි මුද්‍රණයත් නිකුත් වී තිබෙන බවයි වාර්තා වන්නේ .

දඬුවම් නැත
ලක්ෂ ගණනාවක් දුගී බවට හෙලා මේ රට ණය ආපසු නොගෙවන ලෝකයේ දුප්පත්ම රටක් බව‍ට පත් කළ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයින් ආර්ථික අවකළමනාකරණයේ යෙදුන බව අධිකරණය මගින් තීරණය කොට ඇත . එහෙත් ඒ කව්රුවත් දඬුවම් ලබා නැත.

මේ ආර්ථික අවකළමනාකරණයේ ඍජු ප්‍රතිපලයක් වූ තෙල් පෝලිම් හේතුවෙන් පහොළොස් දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් තිබේ .
ස්වභාවික යුක්ති මුලධර්මවලට අනුව තමන්ගේ පැත්තේ කථාව කියා සිටීමේ අයිතිය ගෝඨාභය රාජපක්ෂට තිබිය යුතුය වරදක් නැත .
වරදවන්නේ ඔහුගේ අදුරදර්ශී රාජ්‍ය පාලනයේ ගොදුරු වලට සාධාරණයක් ඉටු නොවූ වාතාවරණයක් තුල ඔහුගේ කථාව තලුමරන සමාජ වකවානුවක අප ජීවත් වීමයි.

පොතෙන් උපුටා ගත් කොටස් කීපයක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ ඉල්ලීම 2022 අප්‍රේල් මාසයේ දී ද දිගින් දිගටම පැවතුණි. ඒ හඬ වැඩියෙන්ම නැඟුණේ වරෙක මට සහය දුන් පාර්ශ්ව අතරින්මය. මෙ වන විට නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දී ගත වී තිබුණේ දින කිහිපයක් පමණි. හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු විය යුතු බවටත්, සර්ව පාක්ෂික ආණ්ඩුවකට පාර කැපීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවටත් පවසමින් මා වෙත ලිපියක් එවා තිබුණි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ද එවැනිම ආමන්ත්‍රණයක් ලැබුණු පසු මම අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වන බව ප්‍රකාශ කර සිටියෙමි.

අන්තර්කාලීන පාලනයක්

2022 මැයි 07 වැනි දින ත්‍රෛනිකායික මහානායක හිමිවරු රටේ පවතින අර්බුදය විසඳීම සඳහා සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් අන්තර්කාලීන පාලනයක් ස්ථාපිත කළ යුතු බව නැවත අවධාරණය කළහ. 2022 මැයි 9 වන දින අර්බුදය සම්පූර්ණයෙන්ම නව තලයකට ගෙන ගිය ප්‍රතික්‍රියාවකට තුඩු දුන් සිදුවීමක් සිදු විය. නික්ම යන අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සමු දීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණි දහස් සංඛ්‍යාත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් රැස්වීමක් පැවැත් වු අතර ඔවුන්ගෙන් ඇතැමෙක් ගාලු පාරේ අරලියගහ මන්දිරය ඉදිරියේ පිහිටුවා තිබූ මයිනා – ගෝ- ගම නමින් අපහාසාත්මක ලෙස නම් කොට තිබුණු විරෝධතාකරුවන්ගේ කුඩාරම් සමූහයකට පහර දුන්හ.

ඉන් අනතුරුව ඔවුන් ගාලු මුවදොරට පා ගමනින් ගොස් ගෝඨා – ගෝ – ගම කූඩාරම් නගරයට ද පහර දුන්හ.

ක්‍රමානුකූලව ගිනි
මැයි 9 වැනිදා රාත්‍රිය පුරාවට ශ්‍රීලපොපෙ ආධාරකරුවන්ගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ නිවෙස්වලට ක්‍රමානුකූලව ගිනි තබන ලද්දේ පෙර සැලසුමක් පැහැදිලිව පෙන්නුම් කරන ආකාරයටය. මෙම පළිගැනීම් ප්‍රහාරවල දී අරගලකරුවෝ විසින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 70කට අධික පිරිසකගේ දේපළවලට හානි කර ගිනි තැබූහ.

රට පුරා සිටින ශ්‍රීලපොපෙ ආධාරකරුවන්ගේ තවත් නිවාස 700 කට අධික සංඛ්‍යාවකට සහ දේපළවලට සංවිධානාත්මක මැර කල්ලි විසින් අලාභ හානි සිදු කළ අතර, මේ සිද්ධීන්වලින් පුද්ගලයන් 300 කට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම සිදුවීම්වලින් පුද්ගලයන් 10 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූ අතර නිට්ටඹුවේ දී මැර පිරිසක් විසින් පහර දී ඝාතනය කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පොලිස් ආරක්ෂකයා ද ඊට ඇතුළත් ය. මිනීමරු කල්ලිය පැය කිහිපයක් යන තුරුම මළ සිරුරු එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසියට ඉඩ දී තිබුණේ නැත.

මහින්ද රාජපක්ෂ

රට පුරා ප්‍රචණ්ඩත්වය පැතිර යද්දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් විය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වී තිබියදීත් එදින රාත්‍රියේ ප්‍රචණ්ඩකාරී පිරිස් අරලියගහ මන්දිරය වැටලීය. ප්‍රචණ්ඩකාරීන් අරලියගහ මන්දිරයට ඇතුළු වීම වැළැක්වීම සඳහා හිටපු අගමැතිවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට දිගින් දිගටම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු විය. මැයි 10 වැනි දින අලුයම හිටපු අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ අය අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීමට සන්නද්ධ හමුදා භට පිරිස් සමත් විය.

මේ ප්‍රචණ්ඩත්වයේ පසු කම්පන දින කිහිපයක් පැවතුණි. විපක්ෂ දේශපාලනඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගමන් ගත් වාහනයට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබුණු අතර මන්ත්‍රීවරයාට බරපතළ තුවාල සිදු වී තිබුණි. ඉමදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ඒ.වී. සරත් කුමාර ඔහුගේ නිවසට එල්ල වු ප්‍රහාරයකින් මිය ගියේය.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ආණ්ඩු වෙනසක් සඳහා වූ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකු අගමැති ධූරය පත් කිරීමේ අවශ්‍යතාවක් මතු විය. එම නිසා මම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කතා කර අගමැතිකම භාර ගන්නා මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව රට පාලනය කළ නොහැකි බව පවසමින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු මම සරත් ෆොන්සේකාට කතා කර අගමැතිකම භාර ගන්නා මෙන් ඔහුට ආරාධනා කර සිටියෙමි. ඔහු මට කීවේ මම ඔහුව අගමැති හැටියට පත් කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර එතනින් එහාට කටයුතු ඉදිරියට ගෙන යමුය කියාය. ඔහුට පිරිනමනු ලැබූ තනතුර ඔහු එක්වර පිළිගත්තේ නැත.

පැකිළීමකින් තොර රනිල් වික්‍රමසිංහ

ඒ වන විට තිබුණේ කැබිනට් මණ්ඩලයක් නොමැතිව රටට පාලන අධිකාරියක් නොමැති තත්ත්වයක්ය. ඒ අතරතුර, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මා හමුවීමට පැමිණ ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කර පසුව ජනාධිපති ධූරයෙන් මා ඉල්ලා අස්වන්නේ නම් පමණක් අගමැති ධූරය භාර ගැනීමට කැමති බව මට දන්වා සිටියේය. එම කොන්දේසිය පිළිගැනීමට මම සූදානම් නොවුයෙමි. මම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කතා කර අගමැතිකම භාර ගන්නා මෙන් ඔහුට ආරාධනා කළ විට කිසිදු පැකිළීමකින් තොරව ඔහු එම ධූරය භාර ගත්තේය. එම නිසා මම එතුමාට නව අගමැති ලෙස පත් කළෙමි.

විරෝධතාකරුවන් කොළඹට

 

2022 ජූලි 9 වන දින උදෑසන ආරක්ෂක ලේකම්, යුද, නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කර තිබූ මෙහෙයුම් මැදිරියට පැමිණ සිටියහ. ආණ්ඩුවේ සැලසුම වුයේ සියලු ප්‍රවේශ මාර්ග අවහිර කිරීම තුළින් විරෝධතාකරුවන් කොළඹට පැමිණීම වැළැක්වීමයි. නමුත් එවැනි මාර්ග බාධක කොතැනකවත් ස්ථාපිත කර නොතිබූ අතර, උද්ඝෝෂකයෝ කිසිදු අවහිරයකින් තොරව ජනාධිපති මන්දිරය වෙත පැමිණියහ.

උද්ඝෝෂකයන් ඉදිරි ගේට්ටුව කඩාගෙන

පෙරවරු 10.30 ට පමණ මා වහාම ජනාධිපති මන්දිරයෙන් පිටවිය යුතු බව ආරක්ෂක ලේකම් හා හමුදා ප්‍රධානීන් මට කියා සිටියේය. ඒ වෙන විට උද්ඝෝෂකයන් ජනාධිපති මන්දිරය වටලා පැයක්වත් ගත වී තිබුණේ නැත. ඊට පෙර දින, මගේ ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ උපදෙස් පරිදි අප හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇඳුම් සහ වෙනත් දෑ සහිතව ගමන් මලු දෙකක් සූදානම් කොට තිබුණි. අප එම ගමන් මලු රැගෙන පහළට පැමිණ අපගේ වාහනවලට නඟින විට, උද්ඝෝෂකයන් ඉදිරි ගේට්ටුව කඩාගෙන ජනාධිපති මන්දිර පරිශ්‍රයට ඇතුළු විය. මේ සියල්ල සිදුවන අතරතුර බැසිල් ද ජනාධිපති මන්දිරයේ සිටි අතර, ඔහු ද අපේ වාහනයට නැඟගත් පසු අපි ජනාධිපති මන්දිරයේ පසුපස ගේට්ටුවකින් අසල පිහිටි නාවික හමුදා කඳවුර තුළට ඇතුළු වූයෙමු.

ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන මෙන්
අපව සුරක්ෂිතව එම ස්ථානයෙන් ඉවතට ගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ නාවික හමුදාපතිවරයා සැලසුම් කොට තිබුණි. මේ වන විට විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය තුළට පිවිස තිබුණු බව නාවික හමුදා කඳවුරේ රූපවාහිනී තිරවලින් අපට දැක ගත හැකි විය.

නාවික හමුදාව විසින් වරායේ යාත්‍රා දෙකක් සීරුවෙන් තබා තිබූ අතර අපි ඉන් එකකට ගොඩ වූ පසු අනෙක් යාත්‍රාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට යැවීමෙන් මා ගමන් කරන්නේ කුමන යාත්‍රාවේද දැයි පිටස්තර කිසිවකුටත් දැන ගැනීමට නොහැකි ලෙස සැලසුම් යොදා තිබුණි. උද්ඝෝෂකයන් ජනාධිපති මන්දිරයට කඩා වැදීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මට ලිපියක් ලියමින් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන මෙන් මගෙන් ඉල්ලා සිටියේය. එම ලිපියට ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් අත්සන් කර තිබුණි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් ද කැඳවා තිබුණි. පක්ෂ නායකයන් ගන්නා ඕනෑම තීරණයකට ගරු කරන බව මම අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නෙමි. මම ජනාධිපති මන්දිරයෙන් නික්ම යෑමත් සමඟම බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර සහ ධම්මික පෙරේරා යන අමාත්‍යවරු ඔවුන්ගේ කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වූහ.

ඉන්පසු එම දවස ඇතුළත ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය සහ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවෙස වන අරලියගහ මන්දිරය ද උද්ඝෝෂකයෝ ඉතා ඉක්මනින් අත්පත් කර ගත්හ.

පෞද්ගලික නිවෙස
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට ද උද්ඝෝෂකයන් ගිනි තැබුහ. මම අවුරුදු දෙකකුත් මාස නවයක් වැනි කාලයක් ශ්‍රී ලංකාවේ ජනාධිපති වී සිටියෙමි. මේ කාලයෙන් අවුරුදු දෙකකුත් මාස පහක් මම ජීවත් වූයේ මගේ පෞද්ගලික නිවෙසේය. 2022 මාර්තු 31 වැනි දින රාත්‍රියේ මගේ පෞද්ගලික නිවෙස අවට පැවති උද්ඝෝෂණය නිසා මට වැඩි ආරක්ෂාව සඳහා ජනාධිපති මන්දිරයේ පදිංචියට යෑමට සිදු විය. නායකයන් වෙනසක් ඇති කිරීමට උත්සාහ කරන විට, මහජනතාව ද එයට සහාය දිය යුතුය. නැතහොත් සියල්ල ගමන් කරනුයේ ආපස්සටය. 2022 සිදුවීම්වලින් පසුව, තමන්ගේ ආරක්ෂාව කෙසේ වෙතත්, තම අසල්වාසීන්ගේ ආරක්ෂාව ගැන සිතාවත්, කිසිදු නායකයකු ජනාධිපති, අගමැති හෝ ඇමති වැනි ධූරයකට පත්වීමෙන් පසු තමන්ගේ පෞද්ගලික නිවාසවල දිගටම ජීවත් නොවනු ඇත.

ත්‍රිකුණාමලය  නාවික හමුදා කඳවුරේ රාත්‍රිය

කොළඹ වරායෙන් පිටත් වු අපි ත්‍රිකුණාමලයට ගොස් නාවික හමුදා කඳවුරේ රාත්‍රිය ගත කර පසු දා හෙලිකොප්ටරයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ දෙවැනි රාත්‍රිය ගුවන් හමුදා කඳවුරේ ගත කළෙමු. පසු ද රාත්‍රියේ අපි ගුවන් හමුදා ගුවන් යානයකින් මාලදිවයිනට පියාසර කර 2022 ජූලි 12 වන දින අලුයම 3.00 ට පමණ මාලේ අගනුවර වෙත ළඟා වූයෙමු. මාලේ සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි දූපතක හෝටලයක මට නවාතැන් දීමට මාලදිවයින් රජය කටයුතු කර තිබූ අතර අපි බෝට්ටුවෙන් එම හෝටලයට ළඟා වන විට උදෑසන වී තිබුණි. එතැනින් පෞද්ගලික ගුවන් යානයකින් අපි සිංගප්පුරුව බලා යෑමට සැලසුම් කර තිබුණත්, ඉන්දීය බලධාරීන් මෙම පෞද්ගලික ගුවන් යානයට මාලේ බලා යෑමට අවසර දී තිබුණේ නැත. එම නිසා වාණිජ ගුවන් යානයකින් සිංගප්පුරුවට යෑම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කර ගන්නා මෙන් මම උපදෙස් දුන්නෙමි. ඒ අනුව අපි සෞදි ගුවන් සේවයේ ගුවන් යානයකින් සිංගප්පූරුවට ගියෙමු.

සිංගප්පූරුවට යෑමට

මාලදිවයින් රජය මට හෝටලයේ සිට ගුවන් තොටුපළට යෑමටත් එතැන් සිට සිංගප්පූරුවට යෑමටත් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබුණි. මා සමඟ මගේ බිරිය සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ද ගමනට එක් වී සිටියහ. මාලදිවයිනේ සිටි අවස්ථාවේ දී මා රටින් පිට සිටින නිසා මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කළෙමි. සිංගප්පූරුවේ දී මා ඇතුළු පිරිස ගුවන් තොටුපළේ දී පිළිගෙන හෝටලයට රැගෙන යනු ලැබූ අතර එහිදී මා නවාතැන් ගන්නා තට්ටුව සුරක්ෂිත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණි.

 

සිංගප්පූරුවේ දී

 

ජනාධිපති ධූරයෙන් ඉවත් වන බව

සිංගප්පූරුවට පැමිණීමෙන් පසු දේශපාලන පක්ෂ නායකයන් මගෙන් කළ ඉල්ලීමට ගරු කරමින් ඉදිරි දින කිහිපයේ දී මම ජනාධිපති ධූරයෙන් ඉවත් වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දුන්නෙමි. ඒ වෙන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධූරය ලබා දීමට මම හිත හදාගෙන තිබුණේ රටේ නීතිය හා සාමය යළි ස්ථාපිත කළ හැකි එකම පුද්ගලයා ඔහුය යන නිගමනයට මා පැමිණ සිටි නිසාය.

රට තුළ නීතිය හා සාමය යළි ස්ථාපිත කළේ නම් ආර්ථිකයට අවශ්‍ය විදේශ විනිමය ඉබේටම ලැබෙනු ඇත. කෙසේ වෙතත් 2022 ජූලි 13 වැනි දින පැවති දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමේ තීරණය කර තිබුණේ උද්ඝෝෂකයන් සතුටු කිරීම තුළින් පවතින තත්ත්වය සමනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සිය ධූරයෙන් ඉවත් විය යුතු බවය. කෙසේ වෙතත් අගමැති වික්‍රමසිංහ ඉල්ලා අස් වූයේ නැත. ඔහු ඊට පෙර ප්‍රකාශ කර තිබුණේ නව රජයක් පිහිටුවන තුරු තමන් සිය ධූරයේ රැඳී සිටින බවයි. ජූලි 14 වැනිදා මම ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යැව්වෙමි.

Related Articles