බඩගින්නට වැට : කථාව දෝලාවෙන් ගමන පයින් නොවන්නට….

බඩගින්නට වැට : කථාව දෝලාවෙන් ගමන පයින් නොවන්නට….

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ මගපෙන්වීමෙන් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් දියත් කොට ඇත.

රටට අවශ්‍ය සමස්ත සහල් අවශතාවය වන මෙට්‍රික් ටොන් දසලක්ෂ 3.6ක් නිෂ්පාදනය කිරීම, වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 50%ක් රට තුළම නිපදවීමටත්, අර්තාපල් අවශ්‍යතාවයෙන් 35% ක් දේශීයව නිෂ්පාදනය කිරීමටත් මෙමගින් සැලසුම් කර ඇත.

වාර්ෂික සෝයා අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 250,000න් 20%ක් 2025 වසර වන විට මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීම, වියලි මිරිස් අවශ්‍යතාවයෙන් 20%ක් 2025 වන විට දේශීයව නිෂ්පාදනය කිරීම, 2025 වන විට කුරක්කන්, මුං ඇට, කව්පි, තල හා රටකජු සම්පූර් ණ අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

බිත්තර හා කුකුළු මස් වැනි පශු සම්පත් සංවර්ධනයට වාර්ෂික අවශ්‍ය වන බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 650,000න් 80%ක් මේ වසර තුළ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. 2025 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සමස්ත බඩ ඉරිඟු ප්‍රමාණය දේශීයව වගා කිරීමට බලාපොරොත්තු වේ.

මහ කන්නයේ වී සහ බඩ ඉරිඟු නිෂ්පාදනය කිරිම සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 230,000ක්, TSP මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහ MOP මෙට්‍රික් ටොන් 182,000ක් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ආනයනය කිරීමටත් අනෙකුත් ආහාර භෝග නිෂ්පාදනයට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ආනයනය කිරීමටත් මේ වන විට කඩිනම් පියවර ගෙන තිබේ.

කෘෂි රසායනික හා කාබනික පොහොර හිඟයකින් තොරව වෙළඳපොළෙන් මිලදී ගැනීමට පහසුකම් සපයා දීමට නියමිතය අතර යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටියක් දැනට පවතින වෙළඳපොළ මිලට වඩා අඩු සාධාරණ මිලකට ලබාදීමට සැලසුම් කර ඇත.

2022 මහ කන්නය සාර්ථක කර ගැනිමට අවශ්‍ය රසායනික පොහොර, කාබනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය හා බීජ නිසි කලට වෙළඳපොළ හරහා ගොවීන්ට සැපයීමේ යාන්ත්‍රණය මේ වන විටත් රජය ආරම්භ කර තිබෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ නිෂ්පාදන 2018 වර්ෂයේ නිෂ්පාදන මට්ටමට ගෙන ඒමට සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය බීජ, රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර සත්ව ආහාර හා ඉන්ධන ඇතුළු කෘෂිකාර්මික යෙදවුම් ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදු කරන බවද ජනාධිපති කාර්යාලය කියයි.

නිශ්චිත වැඩ පිළිවෙලක් ජනතා සංවාදයට….

මේ පියවර මොනවාදැයි නිශ්චිතව හෙළිදරව් කොට ඒ පිළබඳව සංවාදයක් ඇති කිරීම වැදගත් විය හැකි බව සමාජ ක්‍රියාධරයින් පෙන්වා දෙති. හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ දිගින් දිගට ජනාධිපති කාර්ය සාධක බලකායන් පත් කරමින් පුවත්පත් නිවේදන පල කල අතර ඒවායින් සිදුවූ කාර්යයක් දැන් ගන්නට නැත.

මේ ව විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 22.1% කට සාමාන්‍ය සහ යහපත් තත්වයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් ශක්තියක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ආහාර නොලැබෙන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17% දීර්ඝකාලීන මන්ද පෝෂණ තත්ත්වයක් වන මිටි බවින් (වයසට අනුව උස) පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දෙන්නේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද 2016 ජන විද්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණ වාර්තා උපුටා දක්වමිනි.

Related Articles